පේරු රාජ්‍යයට හදිසි තත්ත්වයක්
පේරු රාජ්‍යයේ අපරාධ රැල්ල මැඬ පැවැත්වීමේ අරමුණින් දින 30ක කාලසීමාවක් සඳහා ලිමා අගනුවරට සහ ඒ ආසන්නයේ පිහිටි කැලාඕ ප්‍රාන්තයට හදිසි තත්ත්වයක් ප්‍රකාශයට පත් කර ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.
පේරු රාජ්‍යයේ අන්තර්වාර ජනාධිපති ජොසේ ජෙරී පෙරේදා එරට රූපවාහිනිය ඔස්සේ ජනතාව අමතා ප්‍රකාශ කර ඇත්තේ රටේ සාමය උදා කිරීම සඳහා මෙන්ම මිලියන ගණනාවක ජනතාවගේ විශ්වාසය රැක ගැනීම සඳහා මේ පියවර ගත් බවයි.
දින 30ක කාලසීමාව තුළ එරට අපරාධ රැල්ල තුරන් කිරීමට හමුදාව සමත්වනු ඇතැයි ජනපතිවරයා විශ්වාසය පළ කර ඇතැයි ද විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කරයි.
හදිසි තත්ත්වයක් ප්‍රකාශයට පත් කිරීම සඳහා කැබිනට් මණ්ඩලයේ අනුමැතිය ලැබුණු බවත්, මහජන සාමය පවත්වා ගැනීමට පොලීසිය සහ ත්‍රිවිධ හමුදාව යෙදවීමට නියෝග නිකුත් කළ බවත් ජනාධිපතිවරයා වැඩිදුරටත් ප්‍රකාශ කර ඇතැයි විදෙස් මාධ්‍ය සඳහන් කරයි. හදිසි තත්ත්වය යටතේ අදාළ පළාත්වලට හමුදාව යෙදවීමට සහ මහජන ඒකරාශීවීම් සීමා කිරීමට පියවර ගෙන ඇතැයි ද වාර්තා කරනවා.
වසර ගණනාවක් පුරා පේරු රාජ්‍යයේ ව්‍යප්ත වී ඇති අපරාධ රැල්ල මැඬ පැවැත්වීමට රජය අසමත්වීම හේතුවෙන් එරට තරුණ පරපුර මාස ගණනාවක සිට අඛණ්ඩව දැවැන්ත විරෝධතාවක නිරතවන අතර, වැඩබලන ජනාධිපතිවරයා හදිසි තත්ත්වයක් ප්‍රකාශයට පත් කරනු ලැබුවේ එම විරෝධතාව සැලකිල්ලට ගනිමින් බවද වාර්තා වේ. අපරාධ රැල්ල මැඬ පැවැත්වීමට රජය පියවර නොගැනීම එවකට හිටපු ජනාධිපතිනිය ඩීනා බොලොවර්ටේ දෝෂාභියෝගයකින් ධුරයෙන් නෙරපා හැරීම දක්වා ඇදී ගොස් තිබුණා.
පේරු රාජ්‍යයේ පළමු කාන්තා ජනපති ලෙස 2022 දී පත්වූ ඩිනා බොලොවර්ටේ එරට අපරාධ රැල්ලට එරෙහිව පියවර නොගැනීමේ හේතුවෙන් එරට තරුණ පරපුර වීදී බැස දැවැන්ත විරෝධතාවක් ආරම්භ කිරීමත් සමඟ රට පුරා ප්‍රචණ්ඩ ක්‍රියා පැතිරී ගිය අතර ඇයට එරෙහිව පාර්ලිමේන්තුවට දෝෂාභියෝගයක් ඉදිරිපත් වූයේ ඉන් පසුවයි. ඇගේ දෝෂාභියෝගය සම්මතවීමට පාර්ලිමේන්තුවේ ඡන්ද 87ක් අවශ්‍ය වූවද, ඒ සඳහා ඡන්ද 122ක්ම ලැබී තිබූ බවද වාර්තා වේ.
අපරාධ රැල්ල මැඬ පැවැත්වීමට පියවර ගන්නා බවට වැඩ බලන ජනාධිපතිවරයා පසුගිය සතියේදී දිව්රුම් දෙමින් ප්‍රකාශ කළද, ඔහු බලයට පත්වී දින දෙකක් ඇතුළත නැවත විරෝධතා සහ ප්‍රචණ්ඩ ක්‍රියා පැතිරී ගිය බව විදෙස් මාධ්‍ය සඳහන් කරනවා.
එම විරෝධතාව අතරතුර පුද්ගලයකු ජිවිතක්ෂයට පත්වී ඇති අතර, විරෝධතාකරුවන් 100කට වැඩි පිරිසක් තුවාල ලැබූ බව ද වාර්තා වෙනවා.

