පාකිස්තාන හමුදාවට එරෙහිව ලන්ඩන් නුවර විරෝධතා
පාකිස්තාන හමුදාව බලුකිස්තාන ප්‍රාන්තයේ සිදු කරන බව කියන දරුණු හමුදා මෙහෙයුම්වලට එරෙහිව බ්‍රිතාන්‍යයේ බලුකිස්තාන ඩයස්පෝරාව ලන්ඩන් නුවර අගමැති නිල නිවෙස ඉදිරිපිට විරෝධතාවක නිරත වූ බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.
එංගලන්තයේ මානව හිමිකම් සංවිධාන සඳහන් කර ඇත්තේ බලුකිස්තාන ප්‍රාන්තයේ මානව හිමිකම් අර්බුදය උත්සන්න වී ඇති බවට තොරතුරු වාර්තා වන බවයි.
සති ගණනාවක් පුරා සිදු කරමින් සිටින හමුදා මෙහෙයුම්වලදි බලුකිස්තානයේ සිවිල් වැසියන් පැහැරගෙන යෑම් සිදුවී ඇති බවත්, පාකිස්තාන හමුදාව එම ප්‍රාන්තයේ මානව හිමිකම් උල්ලංඝනය කරමින් සිටින බවත් විරෝධතාකරුවන් ප්‍රකාශ කර ඇතැයි ද විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කරයි.
බලුකිස්තාන ප්‍රාන්තයේ සිදුවන මානව හිමිකම් උල්ලංඝනය විමේ සිදුවීම් සොයා බැලීම සඳහා එම ප්‍රාන්තයට නියෝජිත කණ්ඩායම් යොමු කරන ලෙස ද විරෝධතාකරුවන් ජාත්‍යන්තර මානව හිමිකම් සංවිධානවලින් ඉල්ලීමක් කර ඇතැයි විදෙස් මාධ්‍ය සඳහන් කරයි.
නීති විරෝධී අත්අඩංගුවට ගැනීම් නැවැත්වීමට පියවර ගන්නා ලෙසත්, හමුදා මෙහෙයුම් අත්හිටුවීමට පාකිස්තාන රජයට බලපෑම් කරන ලෙසත් එම විරෝධතාවට එක්වු බලුකිස්තාන මානව හිමිකම් සංවිධානය ජාත්‍යන්තරයෙන් ඉල්ලා ඇතැයි ද වාර්තා වේ.

