මා කිසිවකුට වැඳගෙන යන්නේ නෑ
තමාට ජීවිත තර්ජනය ඇති බවට සඳහන් වන්නේ පොලිස්පතිවරයාගේම වචනවලින් බව පාර්ලිමේන්තු මන්ත්‍රී ජගත් විතාන මහතා පවසනවා.
මන්ත්‍රීවරයා මේ බව පැවසුවේ සමගි ජන බලවේග ප්‍රධාන කාර්යාලයේ ඊයේ (27) පැවති මාධ්‍ය හමුවට සහභාගි වෙමින්.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ මන්ත්‍රීවරයා පැවසූවේ.
“පොලිස්පතිවරයා නිර්දය ලෙස මාධ්‍යයට නිකුත් කළ ප්‍රකාශයෙන් මට අපරාධ කල්ලිත් සමඟ ප්‍රශ්නයක් තියෙන බව ඒ මොහොතේ දැනගත්තා. මගේ ජීවිතය තර්ජනයට ලක්ව ඇති බවට සඳහන් වන්නේ පොලිස්පතිවරයාගේම වචනවලින්. මා කතානායකවරයා හරහා පාර්ලිමේන්තුවේදී වරප්‍රසාද කඩවීමක් ලෙස මේ කාරණය ඉදිරිපත් කළා.
මට දී ඇති ආරක්ෂාව තාවකාලික බව පොලිස්පතිවරයා සඳහන් කර තිබෙනවා. වෙඩි කන්න ඉන්න මිනිහා මා වන නිසා ඕනෑම වෙලාවක මේ ආරක්ෂාව අයින් කිරීමට හැකියි.
මා කිසිවකුට වැඳගෙන යන්නේ නෑ. යම් දේශපාලකයකුට හෝ කිසිම අයකුට මෙවැනි දේවල් සිදු නොවේවායි යන පණිවිඩය දෙනවා. කථානායකවරයා හරහා නීත්‍යනුකූලව ආරක්ෂාව ලබාගැනීම පිළිබඳව පොලිස්පතිවරයාට යම් ලැජ්ජාවක් හෝ පසුතැවීමක් තිබේදැයි දන්නේ නෑ. මා නිවැරදි නීත්‍යනුකූල මාර්ගය අනුගමනය කළ නිසා සමාව ගන්නට යන්නේ නෑ. පොලිස්පතිවරයා විසින් ව්‍යාපාර කතන්දරයකුත් ප්‍රකාශ කර තිබෙනවා. පොලිස්පතිවරයා මට කළු පැල්ලමක් එකතු කිරීමට උත්සාහ කර තිබෙනවා. ඒ සඳහා මම නීතිමය පැත්තෙන් කටයුතු කරනවා.
මම පාතාල කල්ලිත් සමඟ සම්බන්ධ කර ගැටුමක් ඇති කිරීමට හදන්නේ අනියමින් පොලීසියට කරන්න බැරි දේ පාතාල කල්ලිය ලවා කරවීමට දැයි සැකයක් තිබෙනවා. මා කළ වරද දේශපාලනය කිරීම දැයි විමසා සිටිනවා.”

