ආණ්ඩුව ගෙදර යවලා තමයි අපි මේක නතර කරන්නේ
ආණ්ඩුව ගෙදර යැවීමේ සටනට නුගේගොඩින් එක්වන්නැයි සමගි ජන බලවේගයට ද ආරාධනා කරන බව හිටපු රාජ්‍ය ඇමැති ජානක වක්කුඹුර මහතා පවසනවා.
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පක්ෂ මූලස්ථානයේ ඊයේ (28) පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවට එක්වෙමින් ජානක වක්කුඹුර මහතා මේ බව කියා සිටියා.
ආණ්ඩුවේ මේ වැඩපිළිවෙළට විරුද්ධව ඉන්න සියලු දෙනා පාට, පක්ෂ භේදයකින් තොරව නුගේගොඩට එන්නැයි ආරාධනා කරන බව ද හෙතෙම පැවසූවා.
ඔහු වැඩිදුරටත් පැවසූවේ,
“අපි ආණ්ඩුව ගෙදර යවන පළමු වැනි වෙඩි මුරය නොවැම්බර් 21දා නුගේගොඩදී ආරම්භ කරනවා. ආණ්ඩුව ගෙදර යවලා තමයි අපි ආපහු මේක නතර කරන්නේ. ආණ්ඩුවට කාලයක් දුන්නා, ඒ කාලය තුළ අපි බැලුවා ජනතාවට ප්‍රකාශ කළ පොරොන්දු ඉෂ්ට කරයි කියලා. නමුත් කිසිදෙයක් ඉෂ්ට කළේ නැහැ. ආණ්ඩුව හදන්නේ වැඩ වර්ජනයක් කළොත් මර්දනය කරලා ඒ වැඩ වර්ජනය ආපස්සට හරවන එක.
පහුගිය කාලයේම සාධනීය කරුණු එක්ක රාජ්‍ය සේවකයෝ වැඩ වර්ජනය කළා. ඒ කිසිදු එකකට ආණ්ඩුව ඇහුම්කන් දුන්නේ නැහැ. ඇහුම්කන් නොදි එක් එක්කෙනා අල්ලගෙන ඒවා යටපත් කළා. ඒ නිසා ආණ්ඩුව හදනවා තනි ගමනක් යන්න. අපි මේ රටේ ආණ්ඩුවේ මේ වැඩපිළිවෙළට විරුද්ධව ඉන්න සියලු දෙනාටම ආරාධනා කරනවා නුගේගොඩට එන්න මහජන හඬ මේ අපේ රැස්වීමට සම්බන්ධ වෙන්න කියලා. අපි ආණ්ඩුව ගෙදර යවන වැඩපිළිවෙළ ආරම්භ කරනවා.
වැලිගම සභාපති පොලීසියට පාතාලයේ ආයුධ අල්ලා ගැනීමට ඔත්තුවක් ලබාදී පසුව පාතාලය විසින් ඔත්තුව ලබාදුන් වැලිගම ප්රාදේශීය සභාවේ සභාපති ඝාතනය කිරීමට ඔහු ඔත්තුව දුන් බව පාතාල නායකයා දැනගත්තේ කෙසේද කියා පොලිස්පතිතුමාගෙන් විමසනවා. ඒ නිසාද ඔහුට ආරක්ෂාව නොදුන්නේ කියන සැකයක් මතුව තිබෙනවා.

