විස්සයි20 ලෝක කුසලානයට කොළඹ-මහනුවර තෝරා ගනියි
ඉන්දියාව සහ ශ්‍රී ලංකාව එක්ව සත්කාරකත්වය දරන විස්සයි20 ලෝක කුසලාන ක්‍රිකට් තරග පැවැත්වීම උදෙසා ශ්‍රී ලංකාවේ කොළඹ සහ මහනුවර ස්ථාන දෙක ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය තෝරා ගෙන තිබෙනවා.
ඉන්දියාවේ අහමදාබාද්, දිල්ලි, කොල්කටා, චෙන්නායි සහ මුම්බායි ලෝක කුසලාන තරග පැවැත්වෙන අනෙක් ක්‍රීඩාංගණ වේ.
කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ හා එස්එස්සී ක්‍රීඩාංගණයේ මහනුවර පල්ලෙකැලේ ක්‍රීඩාංගණයේ තරග පැවැත්වීමට තීරණය වී තිබේ.
මේ ලෝක කුසලාන තරගාවලිය වෙනුවෙන්ම එස්එස්සී ක්‍රීඩාංගණයේ රාත්‍රී ක්‍රීඩා කළ හැකි විදුලි පහන් පද්ධතියක් අලුතින් සවි කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය කටයුතු යොදා ඇත.
ඉන්දියාවේ තෝරාගත් ස්ථාන අතරට දිල්ලි අරුන් ජෙට්ලි ක්‍රීඩාංගණය, මුම්බායි වන්කඩේ ක්‍රීඩාංගණය, කොල්කටා ඊඩන් ගාර්ඩන්ස්, චෙන්නායි එම්ඒ චිදම්බරම් ක්‍රීඩාංගණය සහ අහමදාබාද් නරේන්ද්‍ර මෝදි ක්‍රීඩාංගණය ඇතුළත් වේ.
ශ්‍රී ලංකාවේදී පාකිස්තානයේ තරග පැවැත්වීමට කටයුතු යොදා ඇති අතර, කණ්ඩායම් 20ක තරග 55ක් සමඟින්, විස්සයි20 ලෝක කුසලාන තරගාවලිය ලබන පෙබරවාරි 7 සිට මාර්තු 8 දක්වා පැවැත්වෙනවා.
පාකිස්තානය සුදුසුකම් ලබාගතහොත් ලෝක කුසලාන අවසන් තරගය කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ පැවැත්වෙන අතර, වෙනත් රටවල් දෙකක් පැමිණියහොත් එම අවසන් තරගය අහමදාබාද් නරේන්ද්‍ර මෝදි ක්‍රීඩාංගණයේ පැවැත්වේ.
විස්සයි20 ලෝක කුසලාන තරගාවලියේ සම්පූර්ණ කාලසටහන අයිසීසී විධායක මණ්ඩල රැස්වීමකින් පසුව නිකුත් කිරීමට සූදානම් වේ.
මෙවර ලෝක කුසලානයේ ආකෘතිය පෙර සංස්කරණයේ මෙන් ම පවතිනු ඇති අතර, කණ්ඩායම් 20 පහ බැගින් වූ කාණ්ඩ හතරකට බෙදා ඇත. සෑම කාණ්ඩයකින්ම ඉහළම කණ්ඩායම් දෙක සුපිරි අට වටයට පිවිසෙන අතර, එහිදී සුපිරි අට වටය කාණ්ඩ දෙකකට බෙදා ඇත. සෑම සුපිරි අට කාණ්ඩයකින්ම ඉහළම කණ්ඩායම් දෙක අවසන් පූර්ව වටයට පිවිසෙන අතර, එහි ජයග්‍රාහකයන් අවසන් මහා තරගයේදී මුහුණ දෙනු ඇත.
සත්කාරක ඉන්දියාව සහ ශ්‍රී ලංකාව හැරුණු විට, පසුගිය විස්සයි20 ලෝක කුසලානයේ ඉහළම කණ්ඩායම් හත වන ඇෆ්ගනිස්තානය, ඔස්ට්‍රේලියාව, බංග්ලාදේශය, එංගලන්තය, දකුණු අප්‍රිකාව, අමෙරිකා එක්සත් ජනපදය සහ බටහිර ඉන්දීය කොදෙව් යන කණ්ඩායම් හත මෙවර ස්වයංක්‍රියව සුදුසුකම් ලබා ඇත. නවසීලන්තය, පාකිස්තානය සහ අයර්ලන්තය විස්සයි20 ශ්‍රේණිගත කිරීම් මත පදනම්ව එක් වී ඇත.
ඇමරිකානු කලාපයේ සුදුසුකම් ලැබීමේ තරගාවලියෙන් කැනඩාව ස්ථානයක් ලබාගත් අතර, ඉතාලිය සහ නෙදර්ලන්තය යුරෝපීය සුදුසුකම් ලැබීමේ තරගාවලියෙන් විස්සයි20 ලෝක කුසලානයට ක්‍රීඩා කරනු ඇත. නැමීබියාව සහ සිම්බාබ්වේ අප්‍රිකානු සුදුසුකම් ලැබීමේ තරගාවලියෙන් පැමිණි අතර, නේපාලය, ඕමානය සහ එක්සත් අරාබි එමීර් රාජ්‍යය ආසියා – නැඟෙනහිර පැසිෆික් සුදුසුකම් ලැබීමේ තරගාවලියෙන් ස්ථාන ලබා ගත්තා.
අවසන් වරට 2024දී බාබඩෝස්හි පැවති අවසන් මහා තරගයේදී දකුණු අප්‍රිකාව පරාජය කරමින් ඉන්දියාව ශූරතාව දිනා ගැනීමට සමත් විය.

