බෝම්බ බියක් ඇති කළ ඊ-මේල් පණිවිඩය ගැන විමර්ශන
මහනුවර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ පුපුරණ ද්‍රව්‍ය ඇති බවට ලද තොරතුර යම්කිසි මහජන කැලඹීමක් ඇතිකිරීමට ගත් උත්සාහයක් බවට පොලිසිය සැක කරනවා.
අද (27) උදෑසන නවතම නිවේදනයක් නිකුත් කරමින් පොලීසිය සඳහන් කරන්නේ මෙම තොරතුර සම්බන්ධව පරිගණක අපරාධ විමර්ශන අංශය මගින් වැඩිදුර විමර්ශන සිදුකරනු ඇති බවයි.
මහනුවර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ ස්ථාන 05ක බෝම්බ සඟවා ඇති බවට එම කාර්යාලයේ ඊ-මේල් ලිපිනයට ඊයේ (26) දින පණිවිඩයක් යොමු කර තිබුණා.
ඒ, සම්බන්ධයෙන් මහනුවර කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරයාට කරන ලද දැනුම්දීමක් මත මහනුවර පොලිස් ස්ථානයේ නිලධාරීන්, පොලිස් නිල සුනඛ කොට්ඨාසය, පොලිස් විශේෂ කාර්ය බළකා බෝම්බ නිෂ්ක්‍රීය අංශය සහ යුද හමුදා බෝම්බ නිෂ්ක්‍රීය අංශයේ නිලධාරීන් කැඳවා සෝදිසි මෙහෙයුමක් දියත් කරනු ලැබුවා.
මෙම සෝදිසි මෙහෙයුම් කටයුතු 2025.12.26 වන දින උදෑසන සිට සවස් කාලය වන තුරු ක්‍රියාත්මක කළ අතර එහිදී සැකකටයුතු කිසිදු පුපුරන ද්‍රව්‍යයක් හමුවී නොමැත.
ඒ අනුව මෙම තොරතුර යම්කිසි මහජන කැලඹීමක් ඇතිකිරීමට ගත් උත්සහයක් බවට පොලිසිය සැකකරනු ලබන බවත් මෙම තොරතුර සම්බන්ධව පරිගණක අපරාධ විමර්ශන අංශය මගින් වැඩිදුර විමර්ශන සිදුකරනු ඇති බවත් පොලීසිය සඳහන් කළා.

