free web stats

වෙනිසියුලානු අර්බුදය

අම‍ෙරිකානු හමුදා ප්‍රහාරවලින් වෙනිසියුලානු ජනාධිපති නිකොලස් මදුරෝ අත්අඩංගුවට ගෙන දින කිහිපයකට පසුව වෙනිසියුලාවේ ජනාධිපති මන්දිරය අසල වෙඩි තැබීම් සිදු වූ බව ඇසින් දුටු සාක්ෂිකරුවන් පවසා තිබෙනවා.

මධ්‍යම කැරකස් හි මිරාෆ්ලෝර්ස් මාළිගයට ඉහළින් හඳුනා නොගත් ඩ්‍රෝන යානා පියාසර කර ඇති අතර එරට ආරක්ෂක හමුදා ඊයේ (05) රාත්‍රී 8ට පමණ ප්‍රතිචාර වශයෙන් වෙඩි තැබූ බව ද විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

ප්‍රහාරය ඇසින් දුටුවන් පවසා ඇත්තේ, අහසේ රතු එළි දුටු බවත්, අහසට එල්ල කරන ලද ප්‍රහාර ට්‍රේසර් උණ්ඩ මෙන් දිස්වූ බවත්ය.

වෙඩි ප්‍රහාරයෙන් පසු ආරක්ෂක හමුදා සාමාජිකයින් බොහෝදෙනෙක් මාළිගය දෙසට දිව යන වීඩියෝ දර්ශන පෙළක් ද විදෙස් මාධ්‍ය වාර්තා කර තිබුණා.

ජනාධිපති මදුරෝ අමෙරිකාවට රැගෙන ඒමෙන් පසුව අරාජික වූ වෙනිසියුලාවේ අන්තර්වාර ජනාධිපතිවරයා ලෙස පත්ව ඇත්තේ උප ජනාධිපති ඩෙල්සි රොඩ්‍රිගස් ය.

සමාජ මාධ්‍ය සටහනක් තබමින් ඇය පවසා තිබුණේ තමන් අමෙරිකාව සමඟ දිගුකාලීන සහයෝගීතාවෙන් යුතුව ඉදිරි කටයුතු මෙහෙයවීමට අපේක්ෂා කරන බවයි.

රොඩ්‍රිගස් සමඟ කටයුතු කිරීමට අමෙරිකාව සූදානම් නමුත් යම් හෙයකින් ඇය වැරදි තීන්දු ගතහොත් විශාල වන්දියක් ගෙවීමට වෙනිසියුලාවට සිදුවනු ඇති බවට ජනාධිපති ට්‍රම්ප් අනතුරු අඟවා තිබූ පසුබිමක ඇය මේ බව බව පවසා තිබුණා.

නිව්යෝක් නුවර බෘෘක්ලින්හි මෙට්‍රපොලිටන් රැඳවුම් මධ්‍යස්ථානයේ රඳවා සිටි වෙනිසියුලා ජනාධිපති නිකලස් මදුරෝ ඊයේ නිව්යෝක් නුවර මැන්හැට්න්හි ෆෙඩරල් අධිකරණය වෙත ඉදිරිපත් කෙරුණා.

එහිදී තමාට එල්ල වී ඇති සියලුම චෝදනා තමන් ප්‍රතික්ෂේප කරන බව වෙනිසියුලානු ජනාධිපති නිකොලස් මදුරෝ නිව්යෝක් ෆෙඩරල් අධිකරණය හමුවේ ප්‍රකාශ කර තිබේ.

පසුගියදා අමෙරිකානු ආරක්ෂක අංශ විසින් අත්අඩංගුවට ගත් වෙනිසියුලානු ජනාධිපතිවරයා සහ ඔහුගේ බිරිඳ ඊයේ (05) නිව්යෝක් ෆෙඩරල් අධිකරණය වෙත ඉදිරිපත් කළ අවස්ථාවේ ඔහු මේ බව ප්‍රකාශ කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළා.

දැඩි ආරක්ෂක රැකවල් මැද වෙනිසියුලානු ජනාධිපති නිකොලස් මදුරෝ සහ ඔහුගේ බිරිඳ නිව්යෝක් අධිකරණ පරිශ්‍රය වෙත රැගෙන ආ අතර එහිදී සිය අනන්‍යතාවය තහවුරු කරන ලෙස විනිසුරුවරයා ඉල්ලීමක් කළා.

නිකොලස් මදුරෝ වන තමන් වෙනිසියුලා ජනරජයේ ජනාධිපතිවරයා වන අතර පසුගිය 3 වන දින සිය නිවසේදී පැහැරගැනීමට ලක් වූ බව ඔහු අධිකරණය හමුවේ ප්‍රකාශ කර තිබේ.

“මම නිර්දෝශී, මම යහපත් මිනිසෙක්, මම කිසිදු වරදක් කර නැහැ” යනුවෙන් වෙනිසියුලානු ජනාධිපතිවරයා අධිකරණය හමුවේ ප්‍රකාශ කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

තමන්ට එල්ල වී ඇති මත්ද්‍රව්‍ය ත්‍රස්තවාදය, අවි ආයුධ ජාවාරම් යන චෝදනා සියල්ලම ප්‍රතික්ෂේප කරන බව ද මදුරෝ අවධාරණය කර ඇති බව සඳහන් වේ.

නිකොලස් මදුරෝගේ බිරිඳ වන සිලියා ෆ්ලෝරස් ද අධිකරණය හමුවේ ප්‍රකාශ කර ඇත්තේ, තමන්ට එල්ල වී ඇති සියලු චෝදනා ප්‍රතික්ෂේප කරන බවයි.

මිනිත්තු 40ක පමණ කාලයක් පැවති නඩු විභාගයෙන් අනතුරුව යළි කැඳවීම මාර්තු මස 17 වනදා දක්වා කල් තබා තිබේ.

ඉන් පසුව වෙනිසියුලානු ජනාධිපතිවරයා සහ ඔහුගේ බිරිඳ නිව්යෝක්හි බෘක්ලින්හි පිහිටි මෙට්‍රොපොලිටන් රැඳවුම් මධ්‍යස්ථානය වෙත රැගෙන ගොස් තිබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *