චීන විදේශ ඇමැති අද ලංකාවට
ශ්‍රී ලංකා – චීන මිතුදම තවදුරටත් ශක්තිමත් කරමින් සංචාරයක් සඳහා චීන විදේශ කටයුතු ඇමැති වැන්ග් යී මහතා අද (12) ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිතව තිබෙනවා.
ඒ මහතා මෙරට රැඳී සිටින කාලයේ දී විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක ඇමැති විජිත හේරත් මහතා හමුවීමට නියමිතව තිබෙන අතර, එහිදී දෙරටට වැදගත් වන කරුණු රැසක් සම්බන්ධයෙන් ද්වි-පාර්ශ්වික සාකච්ඡාව පැවැත්වීමට නියමිත බව විදේශ කටයුතු අමාත්‍යාංශය පවසනවා.
කොළඹ වරාය නගර ව්‍යාපෘතිය ඇතුළුව ශ්‍රී ලංකාවේ චීන ව්‍යාපෘති කඩිනම් කිරීම මෙන්ම නව චීන ආයෝජන කෙරෙහි සාකච්ඡාවලදී අවධානය යොමු කරනු ඇත.
චීන සංචාරකයන් වැඩි පිරිසක් මෙරටට පැමිණීමට දිරිගැන්වීම සහ ශ්‍රී ලංකාවට අමතර ගුවන් ගමන් පහසුකම් සැලසීමට ශ්‍රී ලංකා පාර්ශ්වය චීනයේ සහාය ඉල්ලීමට ද නියමිතව තිබේ.
වැන්ග් මහතාගේ සංචාරය සිදු වන්නේ ඉන්දියාවේ අගමැති නරේන්ද්‍ර මෝදි මහතාගේ විශේෂ නියෝජිතයකු ලෙස එරට විදේශ කටයුතු ඇමැති එස්. ජයිශංකර් මහතා මෙරටට පැමිණ ශ්‍රී ලංකා නායකයන් හමුවී මාසයකටත් අඩු කාලයකින් වන අතර, චීන විදේශ ඇමැතිවරයා ශ්‍රී ලංකාවේ නතර වන්නේ ඉතියෝපියාව, සෝමාලියාව, ටැන්සානියාව සහ ලෙසෝතෝ ඇතුළු රටවල් හතරක අප්‍රිකානු සංචාරයකින් පසුව බව ද විදේශ අමාත්‍යාංශය පවසයි.
මේ සංචාරය උපායමාර්ගික හවුල්කරුවන් සමඟ අන්‍යෝන්‍ය විශ්වාසය ගැඹුරු කිරීමේ උත්සාහයක් ලෙස විචාරකයෝ පෙන්වා දෙයි.

