ලෝක ශූර ඔස්ට්‍රේලියාව පරදා එංගලන්තය අවසන් තරගයට
අවුරුදු 19න් පහළ ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියේ අපරාජිතයන් ලෙස අවසන් මහ තරගයේ ස්ථානයක් වෙන්කර ගැනීමට එංගලන්ත යොවුන් කණ්ඩායම සමත් විය.
අවසන් වරට 2024 වසරේ පැවති තරගාවලියේදී ඉන්දියාව පරාජය කරමින් වත්මන් ලෝක ශූරයන් ලෙස මෙවර තරගාවලියට එක් වූ ඔස්ට්‍රේලියාව පළමු අවසන් පූර්ව තරගයේදී ලකුණු 27කින් පරාජය කිරීමට එංගලන්ත කණ්ඩායම සමත් විය. මෙවර තරගාවලියේදී ඔස්ට්‍රේලියාවට හිමි වූ එකම පරාජය මෙය වේ.
එංගලන්තය යොවුන් ලෝක කුසලාන අවසන් තරගයකට පිවිසි තෙවැනි අවස්ථාව මෙය වන අතර, අවසන් වරට 2022දී ඔවුන් අනුශූරයන් වී තිබුණා.
බුලවායෝහිදී පැවති මේ තරගයේ පළමුව පන්දුවට පහර දුන් එංගලන්තය කඩුලු 7ක් දැවී ලකුණු 277ක් රැස් කළ අතර, එම ඉලක්කය හඹා ගිය ඔස්ට්‍රේලියාවට ඕවර 47.3කදී සියල්ලන් දැවී රැස් කළ හැකි වූයේ ලකුණු 250ක් පමණි. නායක ඔලිවර් පීක් පන්දු 88කින් වේගවත් ලකුණු 100ක් රැස් කළ ද ඔස්ට්‍රේලියානු ජයග්‍රහණය සඳහා එය ප්‍රමාණවත් නොවිණි. නිටේෂ් සැමුවෙල් ලකුණු 47ක් සහ ආර්යන් ෂර්මා ලකුණු 34ක් ඉනිමට එක් කළහ. පන්දු යැවීමේදී ජේම්ස් මින්ටෝ, සෙබස්තියන් මෝගන්, රැල්ෆි ඇල්බට් සහ මැනී ලුම්ස්ඩන් කඩුලු 2 බැගින් දවා ගත්තා.
එංගලන්ත ඉනිමේදී නායක තෝමස් රෙව් පන්දු 107කින් ලකුණු 110ක් රැස් කළ අතර, කාලෙම් ෆැල්කනර් ලකුණු 40ක් සහ ෆර්හාන් අහඩ්ම නොදැවී ලකුණු 28ක් රැස් කළහ. පන්දු යැවීමේදී හේඩ්න් ෂිලර් සහ නාඩෙන් කුරේ කඩුලු 2 බැගින් දවා ගත්තා.
දෙවැනි අවසන් පූර්ව තරගය ඉන්දියාව සහ ඇෆ්ගනිස්තානය අතර ඊයේ රාත්‍රියේ හරාරේහිදී පැවැත්වීමට නියමිතව තිබිණි. තරගාවලියේ අවසන් මහ තරගය හෙට (6) හරාරේහිදී පැවැත්වේ.

