අකුරේගොඩ ඝාතනයේ සැකකරුවන් 4ක් අත්අඩංගුවට
අකුරේගොඩ ද්විත්ව ඝාතනයට ආධාර අනුබල දීම සම්බන්ධයෙන් සැකපිට පුද්ගලයින් 4 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇතැයි පොලීසිය පවසනවා.
පොලීසිය සඳහන් කළේ, සැකකරුවන්ට නවාතැන් ලබාදීම, ගිනි අවි ප්‍රවාහනය කිරීම හා මත්ද්‍රව්‍ය ලබාදීම සම්බන්ධයෙන් සැකපිට ඔවුන් අත්අඩංගුවට ගෙන ඇති බවයි.
බද්දේගම ප්‍රදේශයේ ගිණි තබා තිබියදී සොයා ගැනුණ ඝාතකයින් පැමිණි බවට සැක කෙරෙන මෝටර් රථය ඉදිරි විමර්ශන සඳහා රජයේ රස පරීක්ෂකවරයා වෙත ඉදිරිපත් කිරීමට නියමිතයි.
තලංගම, අකුරේගොඩදී වෙඩි තබා නීතිඥ බුද්ධික මල්ලවාරච්චි සහ ඔහුගේ බිරිද ඝාතනය කෙරුණේ පසුගිය සිකුරාදා පස්වරුවේදීයි.
කරන්දෙණිය සුද්දා නැමැති සංවිධානාත්මක අපරාධකරු විසින් වෙඩි තැබීම සිදුකරවන්නට ඇතැයි, පොලිසීය පවසනවා.
සැකකරුවන් අත්අඩංගුවට ගැනීම සඳහා කණ්ඩායම් 12 ක් මගින් විමර්ශන ක්‍රියාත්මකයි.
ඝාතනයට ලක්වූ නීතිඥවරයා කරන්දෙණිය සුද්දා නමැති සංවිධානාත්මක අපරාධකරුගේ නඩු කිහිපයකට පෙනී සිටි නීතිඥවරයා බව පොලීසිය සඳහන් කළා.
නීතිඥ බුද්ධික මල්ලවආරච්චි හා ඔහුගේ බිරිද ඝාතනය කිරීම පිළිබඳව ජාතික ජන බලවේගයේ නීතිඥයෝ සංවේගය පලකර තිබෙනවා.
නිවේදනයක් නිකුත් කරමින් එම සංවිධානය පෙන්වා දෙන්නේ පසුගිය කාල සීමාවන් තුළ දේශපාලන අරමුණු වෙනුවෙන් පෝෂණය කළ පාතාලය හා මැර කල්ලි සිවිල් වැසියන්ගේ අයිතිවාසිකම් හා අධිකරණ පද්ධතියට එල්ල කරන අභියෝග දැඩි පිළිකුලෙන් යුතුව හෙළා දකින බවයි.

