ආණ්ඩුව කළ යුත්තේ විපක්ෂයට මඩ නොගහා මිත්‍ර රටවලින් තෙල් ගැනීමයි
ආණ්ඩුව මේ මොහොතේ කළ යුත්තේ, විපක්ෂයට මඩ නොගහා මිත්‍ර රටවලින් තෙල් ගැනීමට උත්සාහ කිරීම බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක, පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා පවසනවා.
පක්ෂ මූලස්ථානයේ පැවැති සාකච්ඡාවකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් මන්ත්‍රීවරයා මේ බව කියා සිටියා.
නාමල් රාජපක්ෂ මහතා වැඩිදුරටත් මෙසේද පැවසූවා.
“විපක්ෂයට මඩ ගැසූ පළියට තෙල් ලැබෙන්නේ නැහැ. තෙල් ලබාගැනීමට නම් විපක්ෂයේ අදහස්වලටද ඇහුම්කම් දිය යුතුයි. පරිභෝජනය අඩු කිරීමේ අරමුණෙන් තෙල් මිල ඉහළ දැමීමෙන් සිදු වන්නේ ආර්ථිකය කඩාවැටීම පමණයි.
අද ලෝක වෙළෙඳපොළේ මිලටත් වඩා ඩොලර් 45ක් වැඩියෙන් තමයි ඩීසල් මිලදී ගන්නේ. හැබැයි කලින් කිව්වේ මිත්‍රශීලී රටවල් එක සාකච්ඡා කරලා අඩුවට තෙල් ගන්න හැකියාව තියෙනවා කියලා. හැබැයි එහෙමවත් කරන්න උත්සාහයක් දක්වන්නේ නැතුව ජනතාවට එක කාරණයක් කියලා වෙන කාරණයක් කරන්න පෙළඹෙනවා. ආණ්ඩුව තවදුරටත් අපිට මඩ ගැහුව කියල ජනතාවගේ ප්‍රශ්න විසඳෙන්නේ නෑ.
රාජපක්ෂලා ඩොලර් බිලියන 18ක් හොරකන් කළා කිව්වා. හැබැයි ඉතින් ඔහොම රුපියල් මිලියන විස්ස විස්ස හදාගෙන යන්න ගියොතින් ඩොලර් බිලියන 18 හදාගන්න වෙන්නේ අවුරුදු පහට නෙවෙයි ඊළඟ ආත්මෙටවත් බෑ.
ආණ්ඩුව මේ තෙල් කාරණයට සූදානම් වීම පිළිබඳව රටේ ජනතාව සෑහීමකට පත්වෙනවද නැද්ද කියන කාරණය පිළිබඳව ජනතාව වෙලාවට උත්තරයක් දෙයි.“

