free web stats

අපි ජනතාව අසීරුතාවට පත් වූ අවස්ථාවේ ජනතාව බලා ගන්නා ආණ්ඩුවක්

2022 වසරේ මෙන් ආර්ථික අර්බුදයක් රට තුළ යළි ඇති වනු ඇති බවට ඇතැමුන් මත පළ කළද, එවැනි තත්ත්වයක් කිසිසේත් රට තුළ ඇති නොවන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අවධාරණය කළා.

ජනාධිපතිවරයා පවසා සිටියේ, මැදපෙරදිග පවතින යුදමය තත්ත්වය හමුවේ ඇතිව තිබෙන තත්ත්වය බාහිර අර්බුදයක් වුවද එයද කළමනාකරණය කර ගැනීමේ ශක්තිය රජය සතු බවයි.

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා මේ බව සඳහන් කළේ නින්දවූර් සංස්කෘතික මධ්‍යස්ථානයේ ඉදිකිරීම් යළි ආරම්භ කිරීමේ අවස්ථාවට අද (22) පෙරවරුවේ එක් වෙමිනි.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක් වූ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පැවසූවේ,

“අපි ජනතාව අසීරුතාවට පත් වූ අවස්ථාවේ ජනතාව බලා ගන්නා ආණ්ඩුවක්. දිට්වා සුළි කුණාටුව හමුවේ මෙන්ම මැදපෙරදිග යුද තත්ත්වය හමුවේත් අපි ජනතාවට සහන සැලසීම වෙනුවෙන් විශාල මුදලක් වෙන් කළා. අපි රටේ ආර්ථිකය ශක්තිමත් කළා. එහෙත් මැදපෙරදිග කලාපයේ නැවත යුද තත්ත්වය වර්ධනය වෙන්න පටන් ගත්තා. ඉන්ධන ගෙන්වීමේදී ඩොලර්වල අගය ඉහළ ගියා. සියලු ආනයනික භාණ්ඩවල මිල ඉහළ ගියා. ඒ නිසා වැඩි ඩොලර් ප්‍රමාණයක් අද පිටතට ගලාගෙන යනවා. අපිට ඩොලර් එන්න තිබුණු සංචාරක කර්මාන්තයට බලපෑමක් ඇති වුණා. ඇතැම් අපනයන ආදායම්වලට බලපෑමක් ඇති වී තිබෙනවා. අද රුපියලට සාපේක්ෂව ඩොලරය යම් ප්‍රමාණකින් ඉහළ යමින් තිබෙනවා. ඇතැමුන් කියනවා මේක 2022 වගේ කියලා. 2022 වගේ වෙන්නේ නැහැ. 2022 අපිට රුපියල් තිබුණේ නැහැ. 2022 මහබැංකුවෙත් ඩොලර් තිබුණේ නැහැ. අද එහෙම නෙවෙයි, වෙළෙඳපොළේ ඩොලර් හිඟයක් තිබෙනවා. මහබැංකුවේ ඩොලර් මිලියන 7,000කට ආසන්න මුදල් ප්‍රමාණයක් තිබෙනවා. එදා මහ බැංකුවේ තිබුණේ ඩොලර් මිලියන 50යි. හෙට අනිද්දා අපිට තවත් ඩොලර් මිලියන 700ක් ලැබෙනවා. එවිට සැලකිය යුතු ඩොලර් සංචිතයක් අපි ළඟ තිබෙනවා.

හැබැයි, ක්‍රමානුකූලව අපි රටේ ආර්ථිකය හැසිර විය යුතුයි. අපි කිසිසේත්ම ආනයනය කරන ඉන්ධන, ගෑස්, කිරි පිටි, පොහොරවල කිසිදු හිඟයක් ඇතිවීමට ඉඩ දෙන්නේ නැහැ. මම එය ඔබට සහතික වෙනවා. එදා ඉන්ධන නැතිව ගියා, කිරිපිටි නැතිව ගියා, ගෑස් නැතිව ගියා. පොහොර කොහොමත් නැතිව ගියා. එවැනි තත්ත්වයක් යළි ඇති වන්නේ නැහැ. එහෙත් අපිට යම් පීඩනයක් තිබෙනවා. අපි එය කළමනාකරණය කර ගත යුතුයි. රට ඇතුළේ ප්‍රශ්නවලට අපි මුහුණ දුන්නා. දිට්වාවලට අපි මුහුණ දුන්නා. එය අභ්‍යන්තර ප්‍රශ්නයක්. හැබැයි, මෙය අපේ පාලනයෙන් තොර මැදපෙරදිග කලාපයේ තිබෙන යුදමය තත්ත්වයක්. මෙයටත් අපිට මුහුණ දෙන්න පුළුවන්. දැන් බොහෝ අය මතවාද හදන්න හදනවා, මේක 2022 වගේමයි කියලා. එහෙම වෙන්නේ නැති බව ඔබ මතක තබා ගන්න. අපි ඒ ප්‍රශ්නය විසඳනවා. අපි රුපියල් උපයා තිබෙනවා. ඒ නිසා තමයි අද මේ ප්‍රදේශයේ පක්ෂ, විපක්ෂ මන්ත්‍රීවරුන්ගේ ඉල්ලීම මත මේ සංස්කෘතික මධ්‍යස්ථනයේ ඉදිකිරීම් වෙනුවෙන් අපිට ප්‍රතිපාදන වෙන් කිරීමට හැකියාව ලැබුණේ.”

Leave a Reply

Your email address will not be published. Required fields are marked *