Meta සමාගමට නඩු
ඇමරිකාවේ Meta සමාගමට එරෙහිව එරට නීතිපතිවරුන් එක්ව ගොනු කළ නඩුව විභාග කිරීම ඊයේ (18) ආරම්භ විය.
පළමු දිනයේදී අනාවරණය වූයේ වයස අවුරුදු 11ක සහ 12ක පමණ දරුවන් මිලියන ගණනක් මෙටා සමාජ මාධ්‍ය ජාල ගිණුම් භාවිත කරන බව Meta සමාගම දැන සිටියද, එය වළක්වා ගැනීමට ඔවුන් කිසිදු සැලකිය යුතු මට්ටමේ පියවරක් ගෙන නොමැති බවයි.
මෙටා සමාගමට ලොව ජනප්‍රියතම සමාජ ජාල වන Facebook, Instagram සහ WhatsApp ඇතුළත් වේ.
2023 වසරේ ඔක්තෝබර් මාසයේදී ඇමරිකාවේ ප්‍රාන්ත 29ක නීතිපතිවරුන් එක්ව Meta සමාගමට එරෙහිව නඩු පැවරූවා.
ඒ, දෙමාපියන්ගේ අවසරයකින් තොරව අවුරුදු 13ට අඩු දරුවන්ගේ දත්ත රැස් කිරීම, likes, reactions, comments සහ scrolling ආදී ඇබ්බැහි කරවන සුළු විශේෂාංග නිර්මාණය කිරීම මගින් දරුවන් අතර මානසික සෞඛ්‍ය අර්බුදයක් ඇති කිරීම ඇතුළු චෝදනා මුල් කර ගනිමිනි.
ඊයේ අදාළ නඩුව කැලිෆෝනියා ප්‍රාන්තයේ ඕක්ලන්ඩ්හි දිස්ත්‍රික් අධිකරණයේදී පළමු වරට ජූරි සභාවක් හමුවේ කැඳවනු ලැබුවා.
කැලිෆෝනියා, කොලරාඩෝ, කෙන්ටකි සහ නිව් ජර්සි යන ප්‍රාන්ත හතර එක්ව නඩුව මෙහෙයවන අතර, ඔවුන් අධිකරණයෙන් ඉල්ලා සිටින්නේ Meta සමාගමට ඩොලර් බිලියන 200ක දඩ සහ වන්දි පනවන ලෙසයි.
Meta සමාගමේ ව්‍යාපාර ආකෘතිය සරලව කොටස් හතරකින් සාරාංශ කළ හැකි බව ඊයේ කැලිෆෝනියා නීතිපති කාර්යාලය පෙන්වා දුන්නා.
පරිශීලකයන් උගුලකට හසු කරගැනීම, හැකිතාක් වෙලාවක් පරිශීලකයන් ඇප් එක තුළ රඳවා තබා ගැනීම, ඔවුන්ගේ දත්ත එක්රැස් කිරීම සහ පසුව ඒ පිළිබඳ සත්‍යය මහජනතාවගෙන් සඟවා තබා ගැනීම ඊට ඇතුළත් වේ.
ඩොලර් බිලියන ගණනක දැවැන්ත වත්කම්වලට හිමිකම් කියන ෆේස්බුක් සහ මෙටා නිර්මාතෘ මාක් සකර්බර්ග්ද ඉදිරි සති හයක කාලය තුළ ජූරි සභාව ඉදිරියේ සාක්ෂි ලබා දෙනු ඇතැයි විදෙස් වාර්තාවල සඳහන් වේ.

