ළමා ශ්‍රමය අවසන් කිරීමට සියලු කටයුතු යොදනවා
ළමා ශ්‍රමය ශ්‍රී ලංකාව තුළ යොදා ගැනීම අවසන් කිරීමට වත්මන් රජය සියලු කටයුතු යොදන බව කාන්තා සහ ළමා කටයුතු ඇමැති සරෝජා සාවිත්‍රි පෝල්රාජ් මහත්මිය පැවසුවා.
ඒ මහත්මිය වැඩ්දුරටත් පැවසූවේ ,
“ළමා ශ්රමයට අදාළ නීති කම්කරු අමාත්‍යාංශය මඟින් ක්‍රියාත්මක වෙනවා. ළමා ශ්‍රමය වැළැක්වීම සඳහා වන දඩ මුදල් සංශෝධනයට මේ පනත් කෙටුම්පත ඉදිරිපත් කරනවා. පනත සඳහා සංශෝධන රැසක් ඉදිරිපත්ව තිබෙනවා. වයස අවුරුදු 18ට අඩු පුද්ගලයන් දරුවන් ලෙස සලකනවා. වයස අවුරුදු 16ට අඩු දරුවන් සේවයට යෙදවීම නුසුදුසුයි. දරුවන් වහල් සේවාවේ යෙදවීම, අන්තරායකර සේවාවල යෙදවීම තහනම් කළ යුතුයි. ළමා අයිතිවාසිකම් සම්බන්ධයෙන් ජාත්‍යන්තර සම්මුතියට අපි අත්සන් කර තිබෙනවා. ළමා ශ්‍රමය ලබාගැනීමට එරෙහිව දඩ මුදල් ලෙස පවතින රුපියල් 10,000ක දඩය රුපියල් 100,000ක් දක්වා වැඩි කිරීමට මේ සංශෝධනයෙන් කටයුතු කරනවා. ළමයින් සූරාකෑම, ළමයින් අන්තරායකර සේවාවල යෙදවීම තහනම් කිරීමත් මෙයින් සිදු කරනවා.
ළමා ශ්‍රමය යොදා ගන්නා රැකියා ක්ෂේත්‍ර 51ක් හඳුනාගෙන තිබෙනවා. එය මේ වන විට 71ක් දක්වා වැඩි වී ඇති බවටත් හඳුනාගෙන තිබෙනවා. මත්ද්‍රව්‍ය ජාවාරම, පතල් සේවාව, ලිංගික සේවා ලබා ගැනීම, ස්පාවලට ළමා සේවාව ලබා ගැනීම, මෙහෙකාර සේවාවල දරුවන් යොදවන බවට හඳුනාගෙන තිබෙනවා. දරිද්‍රතාව නිසා ළමා ශ්‍රමය වැගිරීමට සිදුව තිබෙනවා. අවුරුදු 16 දක්වා දරුවන්ට අධ්‍යාපනය සුරක්ෂිත කළ යුතුයි. අඩු වයසෙන් දරුවන් පාසල් හැරයාම අවම කරවීම සඳහා අපි කටයුතු කරනවා. ළමා හා කාන්තා කාර්යාංශය, සෞඛ්‍ය අමාත්‍යාංශය, කම්කරු අමාත්‍යාංශය එක්ව දරුවන් රැක ගැනීමට කටයුතු කරනවා.
ගෙවල්වල මෙහෙකාර සේවාවල යෙදෙන දරුවන් ගැන සොයා බලන විට ඔවුන්ගෙන් අනාවරණය වන්නේ එක්කෝ වතු ක්ෂේත්රයෙන් ගෙනා දරුවෙක් නැත්නම් දුප්පත් ගෙදරකින් ගෙනා අයෙක්. ලොකු කෘෂිකාර්මික බිම්වල වැඩ කිරීම, මෙහෙකාර සේවාව ඇතුළු සේවාවන්ට දරුවන්ගේ ශ්‍රමය යොදා ගැනීම වැළැක්වීම කළ යුතුයි.”

