කෝලිගේ ශතකය නිසා බැංගලෝර් අවසන් වටයට
විරාට් කෝලි වාර්තා කළ විශිෂ්ට ශතකය හේතුවෙන් අයිපීඑල් ක්‍රිකට් තරගාවලියේ අවසන් වටයට එක්වීමේ අවස්ථාව ඉහළ දමා ගැනීමට රෝයල් චැලෙන්ජර්ස් බැංගලෝර් පිල සමත් විය.
මේ තරගයේදී කොල්කටා නයිට් රයිඩර්ස් පිල පරදවා කඩුලු 6ක ජයක් හිමිකර ගැනීමට බැංගලෝර් පිල සමත් වූ අතර, ඒ සමඟ ඔවුන් ප්‍රසාද ලකුණු සටහනේ පෙරමුණට පත්විය. 8 වැනි තැන පසුවන කොල්කටා පිල ලැබූ 6 වැනි පරාජය මෙය වන අතර, මේ සමඟ ඔවුහු අවසන් වටයට එක්වීමේ අවස්ථාව අහිමි වීමේ අවදානමකට මුහුණ දී සිටියි.
කොල්කටා පිලට අවසන් වටයට එක්වීමට නම් ඉතිරි තරග 3ම ජය ගැනීම අනිවාර්යය වන අතර, එසේ වුවත් ඔවුන්ට ඉදිරියෙන් ඇති කණ්ඩායම් හතේ ප්‍රතිඵල දෙස බලා සිටීමට ද සිදු වෙයි. රායිපූර්හිදී පැවති තරගයේ පළමුව පන්දුවට පහර දුන් කොල්කටා පිල කඩුලු 4ක් දැවී ලකුණු 192ක් රැස් කළ අතර, පන්දු 5ක් ඉතිරිව තිබියදී එම ඉලක්කය පසු කළ බැංගලෝර් පිලට අහිමි වූයේ කඩුලු 4ක් පමණයි.
හතරේ පහර 11ක් සහ හයේ පහර 3ක් සමඟ පන්දු 60කින් නොදැවී ලකුණු 105ක් රැස් කරමින් කෝලි බැංගලෝර් ජය තහවුරු කළ අතර, දෙව්දත් පඩික්කාල් ලකුණු 39ක් ඉනිමට එක් කළා.
කොල්කටා පිල වෙනුවෙන් අංග්ක්‍රිෂ් රඝුවංශි ලකුණු 71ක්, රින්කු සිං නොදැවී ලකුණු 49ක් සහ කැමරන් ග්‍රීන් ලකුණු 32ක් රැස් කළා.

