ජූනි මාසයේ සංචාරක පැමිණීම් පහළට
පසුගිය වසරේ ජූනි මාසයට සාපේක්ෂව මේ වසරේ ජූනි මාසයේදී මෙරටට පැමිණි සංචාරකයින් සංඛ්‍යාව 9.9%කින් පහත වැටී ඇති බව ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය පවසනවා.
ඒ අනුව ජුනි මාසෙය් දී මෙරට සංචාරය කර ඇති සමස්ත විදේශිකයින් සංඛ්‍යාව 138,241ක් වන බව එම අධිකාරිය සඳහන් කරයි.
ජුනි මාසයේදී, ඉන්දියානු සංචාරකයින් 43,423ක් පැමිණ ඇති අතර එය 35%කි.
මේ අතර, පසුගිය මාසයේ එක්සත් රාජධානියෙන් සංචාරකයින් 10,474ක්, ඔස්ට්‍රේලියාවෙන් 8,710ක්, චීනයෙන් 8,224ක් සහ එක්සත් ජනපදයෙන් සංචාරකයින් 3,806ක් මෙරටට පැමිණ ඇතැයි ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය සඳහන් කරනවා.
මැයි මාසය තුළ සංචාරකයින් 145,745ක් මෙරටට පැමිණ ඇති අතර, මේ වසරේ ගෙවුණු මාස කිහිපය තුළ මෙරටට පැමිණ ඇති සමස්ත සංචාරකයින් ගණන 1,146,573ක් දක්වා ඉහළ ගොස් තිබේ.
මෙම පිරිස අතර, ඉන්දියානු සංචාරකයින් 293,683ක්, එක්සත් රාජධානියෙන් 108,567ක්, රුසියාවෙන් 77,349ක් සහ චීනයෙන් 76,171ක් සිටින බව ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය සඳහන් කළා.

