ට්‍රම්ප් දැඩ් පියවරක “සටන් විරාම ගිවිසුම ඉවරයි”
හෝමූස් සමුද්‍ර සන්ධියේදී කටාර් සහ සවුදි අරාබියට අයත් තෙල් නැව් තුනකට ඉරාන හමුදාවෙන් පහරදීම මුල් කරමින් අමෙරිකානු හමුදාව ඉරානයේ හමුදා මර්මස්ථාන වෙත එල්ල කළ ප්‍රබල ප්‍රහාරයෙන් පසු නිවේදනයක් නිකුත් කළ ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ඉරානය සමඟ ඇතිකරගත් සටන් විරාම ගිවිසුම අවසන් කළ බවත්, එම ගනුදෙනුව කාලය නාස්ති කිරිමක් බවත් ප්‍රකාශ කර තිබෙනවා.
මේ වන විට තුර්කියේ පැවැත්වෙන නේටෝ රාජ්‍ය නායක සමුළුවට සහභාගි වෙමින් සිටින අමෙරිකානු ජනාධිපතිවරයා වැඩිදුරටත් සඳහන් කර ඇත්තේ ඉරානය සමඟ තවදුරටත් ගනුදෙනු කිරිමේ කිසිදු අදහසක් නැති බවයි.
ඉරාන නායකයන් මානසික රෝගීන් බව ද ඔහු ප්‍රකාශ කර තිබෙනවා.
‘ඉරානය මෙහෙයවන්නේ රෝගීන් පිරිසක්. මගේ පැත්තෙන් බලද්දී ඒක දැන් ඉවරයි. ඒ වගේම ඔවුන්ට න්‍යෂ්ටික ආයුධයක් තිබුණා නම් ඔවුන් අනිවාර්යයෙන්ම ඒක පාවිච්චි කරනවා. මගේ අදහසට අනුව දැන් ඒක ඉවරයි. මම අපේ කණ්ඩායම සමඟ සාකච්ඡා කරන්නම්. ස්ටීව් විට්කොෆ්, ජරේඩ් කුෂ්නර් ඔවුන් හොඳ මිනිස්සු. කොහොම වුණත් ඉරානයට ආපහු මා වෙත එන්න සිද්ධ වෙනවා. අපි දෙගොල්ලෝ ගිවිසුමක් ඇතිකරගන්නවා. හැමෝම එකඟ වෙනවා. ගිවිසුම ඇතිකරගත්තට පස්සේ ඔවුන් පිටතට ගිහින් මාධ්‍යයට කියන්නේ ඒ ගැන කතා කරලාවත් නැහැ කියලයි. ඔවුන් හැමදේකම මොකක් හරි වැරැද්දක් දකිනවා. ඔවුන් බොරුකාරයෝ පිරිසක්‘ නේටෝ සංවිධානයේ මහලේකම් මාර්ක් රූට් වෙත හැරුණු ඩොනල්ඩ් ට්‍රම්ප් එසේ ප්‍රකාශ කළ බව විදෙස් මාධ්‍ය සඳහන් කරනවා.

