free web stats

විදුලි දුම්රිය ව්‍යාපෘතියේ කටයුතු ලබන වසරේදී ආරම්භ කරනවා

කොළඹ නගරය සහ තදාසන්න ප්‍රදේශ ආවරණය වන පරිදි නව විදුලි දුම්රිය ව්‍යාපෘතියක කටයුතු ලබන වසරේදී ආරම්භ කිරීමට නියමිත බව පළාත් සභා සහ පළාත් පාලන නියෝජ්‍ය අමාත්‍ය රුවන් සෙනරත් මහතා පවසනවා.

ඒ සඳහා අවශ්‍ය මූලික සැලසුම් මේ වන විටත් සකස් කර අවසන් බව හම්බන්තොට පැවැති ජනහමුවකට එක්වෙමින් ඒ මහතා වැඩිදුරටත් සඳහන් කළා.

මෙම විදුලි දුම්රිය සේවාව මරදානෙන් ආරම්භ කිරීමට නියමිත අතර ඒ ඔස්සේ මහජනතාවට වඩාත් කාර්යක්ෂම හා උසස් ප්‍රවාහන පහසුකමක් සැලසීම රජයේ අරමුණ වන බව ද නියෝජ්‍ය අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසූවා.

මේ අනුව බෙලියත්තේ සිට ‘රුහුණු කුමාරි’ දුම්රියෙන් පැමිණෙන මගීන්ට පානදුරෙන් බැස විදුලි දුම්රිය මගින් කොළඹ නගරයට ළඟාවීමට අවස්ථාව හිමිවන බවද නියෝජ්‍ය අමාත්‍යවරයා මෙහිදී පෙන්වා දුන්නා.

මීට අමතරව රටේ ප්‍රවාහන හා මහාමාර්ග පද්ධතියේ ප්‍රමාද වී තිබූ සංවර්ධන කටයුතු රැසක් නැවත ආරම්භ කර ඇති බව ද නියෝජ්‍ය අමාත්‍ය රුවන් සෙනරත් මහතා මෙහිදී අවධාරණය කළා.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ පළාත් සභා සහ පළාත් පාලන නියෝජ්‍ය අමාත්‍ය රුවන් සෙනරත් මහතා,

“අපි ගෙනාවා මෙට්‍රෝ බස්. කොළඹ ඇතුළු නගරාසන්න ප්‍රදේශවලට දැන් මෙට්‍රෝ බස් යනවා. ඉතා හොඳ පහසුකම් යටතේ යන්නේ. බස් ගෙනාවා, බස් ගැමුණුට එළාර වැහෙනවා. ගැමුණු කෑගහනවා. මං අහගෙන ගැමුණු කියනවා ‘මේ ආණ්ඩුවක් ඇවිල්ලා ආණ්ඩුවේ ප්‍රවාහන සේවය ශක්තිමත් කරනවා’ කියලා. ඉතින් අපි ආවේ ඕකටනේ! ඇයි ඔයා කලබල වෙන්නේ? ඕගොල්ලෝ කලබල වෙන්න එපා. අපි මේ රට හදනවා.

අපි විදුලි දුම්රිය මාර්ග ආරම්භ කරනවා ලබන අවුරුද්දේ. මරදානෙන් පටන් අරන් නගරාසන්න විදුලි දුම්රිය මාර්ග. ඔබට පුළුවන් වෙනවා බෙලියත්තෙන් රුහුණු කුමාරි නැග්ගොත් පානදුරෙන් බැහැලා විදුලි දුම්රියෙන් යන්න. අපි ඒ සැලැස්ම හදනවනේ. අපි ලබන අවුරුද්ද වෙනකොට පටන් ගන්නවා. ඇයි මිනිස්සුන්ට හොඳ ප්‍රවාහනයක් ඕනේ නැද්ද? ලෝකයේ තියෙන හොඳ දේවල් ගෙනත් දෙන්න ඕනේ නැද්ද? ගෙනත් දෙන්න ඕනේ. ඒගොල්ලෝ විතරද යන්න ඕනේ?

අපි හයිවේ හදනවනේ. අවුරුදු ගානක් තිස්සේ නුවරට යන්න විදියක් නැහැ. කටුනායක මීරිගම… ඒ පාරේ ඉතුරු ටික හැදුවේ නැහැ. අන්න අපි හදන්න පටන් ගත්තා. මේ අවුරුද්දේ අපිට ගොඩක් දේවල් අවසන් කරගන්න පුළුවන්. මෙහෙ ඉඳලා පැයක් යනවා නම් කටුනායක ඉඳලා මීරිගමට යන්න පැය දෙකක් විතර ඉන්නවා, අර පොඩි ප්‍රමාණය. අපි හදන්න පටන් ගත්තා.අපේ රටේ ජනතාවගේ බදු සල්ලි එක සත පහක් ණයට ගත්තේ නැහැ, රුපියල් බිලියන 112ක් කුරුණෑගල ගලගෙදර අධිවේගී මාර්ගය දැන් වැඩ ආරම්භ කරලා තිබෙනවා. පටන් ගත්තා. කවුද වැඩ කරන්නේ නැහැ කියන්නේ? ඇයි මේවා වැඩ නෙමෙයිද? ඒවාත් වැඩ!”

Leave a Reply

Your email address will not be published. Required fields are marked *