ඉදිරි දින කිහිපයේ මි.මී. 100 ඉක්මවූ තද වැසි
බෙංගාල බොක්ක මුහුදු ප්රදේශයේ පැවති පීඩන අවපාතය අද දින (25) පෙරවරු 11.30 වන විට ගැඹුරු පීඩන අවපාතයක් දක්වා වර්ධනය වී ඇති බව කාලගුණ විද්යා දෙපාර්තමේන්තුව පවසනවා.
මෙම පද්ධතිය අද දින සවස 04.00 ට නිකුත් කරන ලද කාලගුණ අනාවැකිවලට අනුව, උතුරු අක්ෂාංශ 15.1° සහ නැගෙනහිර දේශාංශ 91.0° ආසන්නයේ කේන්ද්රගතව පැවතුණා.
බෙංගාල බොක්කේ නැගෙනහිර – මධ්යම සහ ඊට යාබද ගිනිකොන දිග ප්රදේශ හරහා නිරිත දෙසට ගමන් කර ක්රමයෙන් හැරී, බටහිරට බරව වයඹ දෙසට ගමන් කරමින් මෙම පද්ධතිය ඉදිරි දිනවලදී තවදුරටත් තීව්ර වීමට නියමිතයි.
ඒ අනුව, හෙට 26 වන දින උදෑසන වන විට සුළි කුණාටුවක් බවටත්, අනිද්දා (27) වන උදෑසන වන විට බෙංගාල බොක්ක බටහිර – මධ්යම මුහුදු ප්රදේශය ආශ්රිතව ප්රබල සුළි කුණාටුවක් බවටත් එය වර්ධනය වීමේ ඉහළ සම්භාවිතාවක් පවතීයි.
මෙම පද්ධතියේ සෘජු බලපෑමක් ශ්රී ලංකාවට නොමැති වුවද, එම පද්ධතිය වෙත ඇදී යන සුළං ප්රවාහයක් දිවයින හරහා ක්රියාත්මක වීම හේතුවෙන් දිවයිනේ නිරිතදිග ප්රදේශයේ වැසි තත්ත්වයේ වැඩි වීමක් ඉදිරි දින කිහිපය තුළදීද බලාපොරොත්තු විය හැක.
උතුරු, බස්නාහිර, සබරගමුව, දකුණු, වයඹ සහ මධ්යම පළාත්වලත්, අනුරාධපුර දිස්ත්රික්කයේත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැක. මෙම ප්රදේශවල ඇතැම් ස්ථානවලට මිලිමීටර් 100 ට වැඩි තද වැසි ඇති වීමේ හැකියාවක් ඇත.
ඌව පළාතෙත්, අම්පාර සහ මඩකලපුව දිස්ත්රික්කවලත් පස්වරු 1.00 න් පසුව තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැක.
මධ්යම කඳුකරයේ බටහිර බෑවුම් ප්රදේශවලත්, උතුරු, උතුරු-මැද සහ වයඹ පළාත්වලත්, ත්රිකුණාමලය සහ හම්බන්තොට දිස්ත්රික්කවලත් විටින් විට පැයට කිලෝමීටර් 40 ත් 50 ත් අතර ප්රමාණයක තද සුළං ඇති විය හැකි බවට අනතුරු අඟවා තිබේ.
ගිගුරුම් සහිත වැසි සමඟ ඇති විය හැකි තාවකාලික තද සුළංවලින් සහ අකුණු මඟින් සිදුවිය හැකි අනතුරු අවම කර ගැනීම සඳහා අවශ්ය පියවර ගන්නා ලෙස කාලගුණ විද්යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් කාරුණිකව ඉල්ලා සිටීයි.

