free web stats

ජනපති සමග විජිත සහ බිමල් චීනයට

සිව්දින නිල සංචාරයක් සඳහා ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ඊයේ රාත්‍රියේදී චීනය බලා පිටත්ව ගියා.

ඒ, චීන ජනාධිපති ෂී ජින් පිං මහතා කළ ආරාධනයකට අනුවයි.

ඒ අනුව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ලබන 17 වනදා දක්වා චීනයේ රැඳී සිටීමට නියමිතයි.

ජනාධිපතිවරයා සමග එම සංචාරයට විදේශ කටයුතු, විදේශ රැකියා හා සංචාරක අමාත්‍ය විජිත හේරත් මහතා, ප්‍රවාහන හා මහාමාර්ග සහ වරාය හා සිවිල් ගුවන් සේවා අමාත්‍ය බිමල් රත්නායක මහතා සහ රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්‍ෂ ජනරාල් එච් එස් කේ ජේ බණ්ඩාර මහතා එක්ව සිටින බවයි ජනාධිපති මාධ්‍ය අංශය පැවසුවේ.

ජනාධිපතිවරයා ඇතුළු මෙරට දූත පිරිස චීන ජනාධිපති ෂී ජින් පිං මහතා, චීන අග්‍රාමාත්‍ය ලී ච්‍යං මහතා ඇතුළු එරට රාජ්‍ය තාන්ත්‍රිකයින් පිරිසක් හමුවීමට නියමිතයි.

එමෙන්ම මෙම සංචාරයේදී ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා, තාක්ෂණික හා කෘෂිකාර්මික සංවර්ධනය මෙන්ම දිළිඳුකම පිටුදැකීම ආදී අරමුණු පෙරටු කරගත් ක්ෂේත්‍ර චාරිකා කිහිපයකට සහ ඉහළ පෙළේ ව්‍යාපාරික හමු කිහිපයකට එක්වීමට නියමිතව තිබෙනවා.

චීන සංචාරය අතරතුර දෙරට අතර ද්වීපාර්ශ්වික අවබෝධතා ගිවිසුම් කිහිපයකට අත්සන් තැබීමට ද කටයුතු යොදා ඇති බවයි ජනාධිපති මාධ්‍ය අංශය පැවසුවේ. ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ජනාධිපති ධුරයට පත් වීමෙන් පසු සිදු කරන දෙවන විදෙස් රාජ්‍ය සංචාරය මෙය වනවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *