free web stats

නිදහස් උලෙළ හෙට උත්කර්ෂව වියදම් අඩුවෙන්

“ජාතික පුනරුදයට පෙළ ගැසෙමු” තේමාව යටතේ මෙවර පැවැත්වෙන 77 වැනි ජාතික නිදහස් දිනය හෙටට යෙදී තිබෙනවා.

නිදහස් දින උත්සවය ජනාධිපති අනුපැවනිදහස් දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් කොළඹ නිදහස් චතුරස්‍රයේදී හෙට (04) පෙරවරුවේ පැවැත්වේ.

මෙවර නිදහස් උලෙළ උත්කර්ෂවත්ව හා වියදම් අඩු කර ගනිමින් පැවැත්වීමට රජය තීරණය කර ඇති අතර වෙනත් නිදහස් උත්සවවලට සාපේක්ෂව මෙවර මහජනතාව වැඩියෙන් සහභාගි කරවා ගැනීමට ද රජය සැලසුම් කර තිබේ.

එමෙන්ම වෙනත් වසරවල දරන වියදමට වඩා අඩු වියදමක් මෙවර උත්සවය සඳහා දැරීමට ද රජය සැලසුම් කර ඇත. ගිය වසරේ ගාලු පාරේ පැවැති නිදහස් දින උලෙළට රුපියල් මිලියන 200ක මුදලක් වැය කර තිබෙන අතර මෙවර විශේෂත්වය වන්නේ එම වියදම රුපියල් මිලියන 87ක් දක්වා අඩු කර තිබීමයි.

එමෙන්ම නිදහස් දින සැමරුම් පෙළපාළියේ සංයුතියද මෙවර වෙනසකට භාජන කර ඇති අතර මින් පෙර යෙදාගත් හමුදා සංයුතිය සියයට 40කින් අඩු කර තිබේ.

ඒ අනුව හමුදා සාමාජිකයන් 1873කු පමණක් මෙවර සහභාගි කරවා ගැනීමට නියමිතය. ගිය වසරේදී පෙළපාළිය සඳහා 3384 දෙනකු සහභාගි කරවා ගෙන ඇති අතර ඒ අනුව මෙවර සෙබළුන් 1511 දෙනකුගේ අඩුවීමක් දක්නට ලැබේ.

එමෙන්ම මෙවර නිදහස් දින සැමරුමට ත්‍රිවිධ හමුදා සන්නද්ධ රථ යොදා නොගැනීමට තීරණය කර ඇති අතර නාවික හමුදාව විසින් පවත්වන සාම්ප්‍රදායික වෙඩිමුර 25 මෙවරද පවත්වනු ලැබේ. ගියවර භාවිත කළ ගුවන් යානා 19න් මෙවර ගුවන් යානා තුනක් පමණක් යොදා ගැනීමට ද සැලසුම් කර තිබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *