රුසියානු යුක්රේන සාම සාකච්ඡා අද ඇරඹෙයි
රුසියාව සමඟ සටන් අවසන් කිරීම කෙරෙහි අවධානය යොමු කරමින් අද සෞදි අරාබියේ ජෙඩා නුවර දී ආරම්භ කරන බව යුක්රේන ජනාධිපති වොලොද්මියර් සෙලෙන්ස්කි පවසනවා.
සෞදි අරාබියේ එක්සත් ජනපද නිලධාරීන් සමඟ ද්විපාර්ශ්වික ඛනිජ ගිවිසුමක් සහ රුසියාව සමඟ සටන් අවසන් කිරීම කෙරෙහි අවධානය යොමු කරමින් මෙම සාකච්ඡා ආරම්භ කරන බවත් ඒ සඳහා සම්පූර්ණයෙන්ම කැපවී සිටින බව ද යුක්රේන් ජනාධිපතිවරයා සදහන් කරයි.
ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් රුසියාව සමඟ සෘජුවම සම්බන්ධ වෙමින් එක්සත් ජනපදයේ යුද කාලීන ප්‍රතිපත්ති උඩු යටිකුරු කර ඇති අවස්ථාවක මෙම සාකච්ඡා පැවැත්වෙන බවත් යුක්රේනය සඳහා මිලිටරි ආධාර සහ බුද්ධි තොරතුරු හුවමාරුව ඇමෙරිකාව විසින් කපා හැර ඇති බවත් විදෙස් මාධ්‍ය පවසයි.
රුසියානු හමුදා රුසියාවේ කර්ස්ක් කලාපයේ කොටස් අල්ලාගෙන සිටින යුක්රේන හමුදාවන්ට එල්ල කරන මිසයිල ප්‍රහාර වැඩි කර ඇති අතර යුක්රේනයේ සුමි කලාපයේ අඩිපාරක් ලබා ගැනීමට ද උත්සාහ කරන බව ද විදෙස් මාධ්‍ය පවසයි.
පසුගිය මාසයේ අගභාගයේදී ධවල මන්දිරයේදී ට්‍රම්ප් සහ ඔහුගේ උප ජනාධිපති ජේ.ඩී. වැන්ස් සමඟ දැඩි හුවමාරුවක් සිදු කළ සෙලෙන්ස්කි ඊයේ සෞදි ඔටුන්න හිමි කුමරු මොහොමඩ් බින් සල්මාන් හමුවිය.
යුක්රේන ජනාධිපතිවරයාගේ කාර්ය මණ්ඩල ප්‍රධානියා සහ ඉහළ අමාත්‍යවරුන් ඇතුළු කණ්ඩායමක් සමග ඇමෙරිකානු රාජ්‍ය ලේකම් මාර්කෝ රුබියෝගේ නායකත්වයෙන් යුත් ඇමරිකානු දූත පිරිසක් මෙම සාකච්ඡාවලට සහභාගී වනු ඇතැයි ද විදෙස් මාධ්‍ය වැඩිදුරටත් සඳහන් කරයි.