රජය දුන් පොරොන්දු සම්පූර්ණයෙන් කඩ කරලා
හිටපු අගවිනිසුරු ජයන්ත ජයසූරිය මහතාට තනාපති ධුරයක් දීම අනියම් ආකාරයෙන් අධිකරණයට කරනු ලැබූ බලපෑමක් යැයි සමගි ජන බලවේගය පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර් රහුමාන් මහතා පැවසනවා.
ප්‍රධාන කාර්යාලයේ පැවැති මාධ්‍ය හමුවට සහභාගී වෙමින් ඔහු මේ බව පැවසූ අතර එහිදී වැඩිදුරටත් පවසා සිටියා.
වර්තමාන රජය ආණ්ඩුව බලය ලබාගැනීමේදී කතා කළේ ක්රමයේ වෙනසක් ගැනයි.
පසුගිය ආණ්ඩු කරපු සෑම පත් කිරීමක්ම, ක්‍රියාකාරකමක්ම රටේ දූෂිත ක්‍රියාකාරකම් ඇති කරන්න ඉවහල් වුණ බව තමයි ඔවුන් ප්‍රකාශ කළේ.
පසුගිය කාලයේ ලේකම්වරු, සභාපතිවරු සහ තානාපතිවරු ඇතුළු තනතුරු දේශපාලනීකරණය වෙලා කියලා ඔවුන් ප්‍රකාශ කලා.
ජාතික ජන බලවේග පාලනයක් තුළ හිතවත්කම් මත ලේකම්ධුර සහ සභාපතිධුර ඇතුළු තනතුරු ලබාදෙන්නේ නෑ කියලා ඔවුන් ප්‍රකාශ කළා.
රාජ්‍ය සේවයේ පත්වීම් ලබාදීමේදී දැනුම, කුසලතාවය සහ දක්ෂතාවය මත තනතුරු ලබාදෙන බව තමයි ජාතික ජන බලවේගය ප්‍රකාශ කළේ.
ඒ ආකාරයට තමයි ඔවුන්ගේ මැතිවරණ ප්‍රකාශනයෙත් සඳහන් කරලා තිබුණේ. නමුත් ඔවුන් ලබාදී තිබෙන පොරොන්දු සම්පූර්ණයෙන් කඩ කරලා තිබෙනවා.
ජනාධිපතිවරයා ඥාති සංග්‍රහයවල් නෑ කිව්වට ඥාතීන් වන උදවිය පාර්ලිමේන්තුව තුළ නියෝජනය වෙනවා.
ඒ වගේම රජයේ පත්වීම් ලබාදීමේදී ජනාධිපතිවරයාගේ ලේකම්ගේ සිට අමත්‍යංශ ලේකම්ධුර දක්වා ඥාති පදනම් මත පත්වීම් ලබාදීලා තිබෙනවා.
ඒ වගේම ආයතනවල සභාපතිධුර ද පක්ෂයේ වැඩ කටයුතු වලට සහභාගි වුණ පිරිසට දීලා තිබෙනවා. ඒ වගේම ජාතික ජන බලවේගයේ ප්‍රතිපත්ති ප්‍රකාශයේ දැක්වෙනවා විදේශ සේවාවලට පත්වීම් ලබදීමේදී ඒ පත්වීම් ලබා දෙන්නේ විදේශ සේවයේ සිටින නිලධාරීන්ට බව ප්‍රතිපත්ති ප්‍රකාශයේ සඳහන් වෙනවා. ඒ වගේම තානාපති සේවය සඳහා පත් කිරීම් 14 ක් පසුගියදා සිදු කරලා තිබෙනවා. ඒ පත්වීම් තුළ විදේශ සේවයේ සිටින එක පුද්ගලයයි සිටින්නේ. අනිත් පත්වීම් සියල්ල පිටතින් තමයි පත් කරලා තිබෙන්නේ.
ජාතික ජන බලවේගයෙන් කොළඹින් ඉල්ලලා පරාජය වුණ අයෙක්ටත් තානාපති ධුරයක් පිරිනමලා තිබෙනවා. අධිකරණ සේවයේ හිටපු ප්රධානියෙක්ටත් තානාපති ධුරයක් ලබාදීලා තිබෙනවා. හිටපු අගවිනිසුරුවරයාට අනුර දිසානායක ජනාධිපති තනාපති ධුරයක් දීලා. ඒක අනියම් ආකාරයේ අධිකරණයට කරන බලපෑමක්. මේ වැඩේ ගෝඨාභයත් කළා. ගෝඨාභය හිටපු අගවිනිසුරු මොහාන් පීරිස්ට තනාපති ධුරයක් ලබාදුන්නා. අනුර කුමාර කරපු එකෙයි ගෝඨාභය කරපු එකෙයි කිසි වෙනසක් නෑ. මේවා කරන්න නෙවෙයිනේ අනුර ජනාධිපති වුණේ.
හිටපු අගවිනිසුරුවරුගෙන් වැඩක් ගන්න පුළුවන් නීති ක්ෂේත්රයට. එවැනි දේවල් නෙවෙයි දැන් සිද්ධ වෙන්නේ. පෙර හිටපු ජනාධිපතිවරු කරපු වැඩ ටික තමයි අනුර දිසානායකත් කරන්නේ. ක්‍රමවේදය පරිවර්තනය කරනවා කිව්වාට කිසිදු ක්‍රමවේදයක් පරිවර්තනය කරන්න ආණ්ඩුව කටයුතු කරලා නෑ. කලින් හිටපු ජනාධිපතිවරු කරපු ටිකම තමයි වර්තමාන ජනාධිපතිත් සිදුකරන්නේ. කොළඹ ප්‍රදේශයේ තරුණයකු ඊශ්‍රායලයට විරුද්ධ ස්ටිකරයක් ඇලවීම සම්බන්ධයෙන් ඔහුව ත්‍රස්ත විමර්ශන කොට්ඨාසය අත්අඩංගුවට අරගෙන තිබෙනවා. ආණ්ඩුව කිව්වා ත්‍රස්ත පනත භාවිත කරන්නේ නෑ කියලා. නමුත් මේ ත්‍රස්ත පනත යටතේ 5 දෙනෙක් අත්අඩංගුවට අරගෙන තිබෙනවා. ඒරාවුර්වල පලස්තීනය වෙනුවෙන් කවි ලියපු කෙනෙක්ගෙන් ප්‍රශ්න කරලා තිබෙනවා.
ජාතික ජන බලවේගයේ විපක්ෂයේ සිටින විට පලස්තීනය වෙනුවෙන් හඬ නඟපු කට්ටිය. ඔවුන් බලයට ආවට පස්සේ පලස්තීනය ගැන කතා කරන පිරිස් අත්අඩංගුවට ගැනීම් සිදු කරනවා. ජනාධිපතිවරයා මේ පිළිබඳව දැනුවත් ද නැද්ද කියලා අපිට ප්‍රශ්නයක්. පලස්තීනයේ සිදුවන ඝාතනවලට විරුද්ධව රටවල් රැසක් පෙරට ඇවිත් තිබෙනවා. පලස්තීනය වෙනුවෙන් හඬ නගන පිරිස දඩයම් කරන පිළිවෙතක් මේ ආණ්ඩුව යටතේ ක්‍රියාත්මක වෙනවා. පලස්තීනනය වෙනුවෙන් කතා කරන පිරිස් දඬුවම් කිරීමේ අවශ්‍යතාවය කුමක්ද කියලා අපි ආණ්ඩුවෙන් අහන්න කැමැතියි.
ඊශ්‍රාලයේ සිටින යුද අපරාධ චෝදනා තිබෙන පිරිස් ලංකාවේ සංචාරය කරනවා. ඒ වගේම ඊශ්‍රායල හමුදාවේ පිරිස් ඔවුන්ගේ මානසික ආතතිය නැති කර ගන්න ලංකාවේ සංචාරය කරන්න කටයුතු කරනවා. අපි අගමැතිවරියගෙන් ඇහුවා මේ පිරිස් හඳුනාගෙන සිටිනවාද කියලා. නමුත් එවැනි හඳුනා ගැනීමක් සිදු කරලා නෑ කියලා ආණ්ඩුව ප්‍රකාශ කළා. ලංකාවේ අනවසර ඉදිකිරීම් ලෙස ඊශ්‍රාලයේ සංස්කෘතික මධ්‍යස්ථාන ඉදි කර තිබෙනවා. මෙම සංස්කෘතික මධ්‍යස්ථාන නීති විරෝධී බව අගමැතිවරිය ප්‍රකාශ කළා. නමුත් තවමත් ඒ සම්බන්ධයෙන් කිසිදු පියවරක් අරගෙන නෑ. ආණ්ඩුවට තිබෙන ඇමරිකානු බලපෑම නිසා පලස්තීන සම්බන්ධ ප්‍රතිපත්ති ලිහිල් වෙලාද කියලත් අපිට සැක මතුවෙනවා.