ආණ්ඩුවට ප්‍රශ්න අමතක වෙලා
ගමේ ආර්ථිකය වෙනුවට පිටරටින් ගෙනැල්ලා බදු ගන්න ආර්ථිකයක්. දේශීය යාන්ත්‍රණය වෙනුවට අයි.එම්.එෆ්. න්‍යාය විශ්වාස කරන වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කරන ආණ්ඩුවක් නිර්මාණයවී තිබෙනවා. යනුවෙන් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක, පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා මාතලේ දී පවසනවා.
මාතලේ දිස්ත්‍රික්කයෙන් පළාත් පාලන ආයතන සඳහා තරග කරන පොදුජන පෙරමුණේ අපේක්ෂක අපේක්ෂිකාවක් දැනුවත් කිරීමේ ජනහමුවක් මාතලේ මහත්මා ගාන්ධි ශාලාවේ දී පැවැති අතර ඊට එක්වෙමින් ඔහු මේ බව කියා සිට්යා.
තවදුරටත් අදහස් දැක්වූ නාමල් රාජපක්ෂ මහතා පැවසූවේ.
“තඹුත්තේගමින් බිහි කළ ජනාධිපතිවරයා මැතිවරණ වේදිකාවලදී පොලිස් මාධ්‍ය ප්රකාශකවරයාගේ රාජාකාරිය කරන්නේ. වෛරය, ඊර්ෂ්‍යාව, ක්‍රෝධය, කුහකත්වය හැරුණාම ප්‍රතිපත්තියක් ගැන වේදිකාවේදී කතාවක් නැහැ.
අපි ගැන සිදුකරන විමර්ශන, පරීක්ෂණ දේශපාලනීකරණය කරන්න එපා. දේශපාලන වාසියට පොලිස් දෙපාර්තමේන්තුව, නීතිපති දෙපාර්තමේන්තුව, අධිකරණ පද්ධතිය, පාවිච්චි කරන්න එපා. රතු සහෝදරයන් සමාජ ඝාතකයන් යොදාගෙන අධිකරණ පද්ධතියේ විනිසුරුවන්ට මඩ ගහමින් තමන්ගේ නොහැකියාව වහ ගන්න එපා. මර්දනය කරන්න එපා.
ජනාධිපති කොමිෂන් සභාවලින් නිර්දේශ කළ උදවිය ආණ්ඩුව පාවිච්චි කරනවා තමන්ගේ ආරක්ෂාව සඳහා. ඇතැම් කොමිෂන් සභාවලින් වැරදිකරුවන් කළ පුද්ගලයන් ආණ්ඩුව ආරක්ෂා කරනවා. ආණ්ඩුව දේශපාලන තනතුරු තානාන්තර දීලා දේශපාලන වේදිකාවේ වාඩි කරගෙන සිටිනවා එහෙම අය. ජනතාවට සාධාරණය ඉටු වන්නේ නැහැ. ජනතාවගේ අපේක්ෂා පල රහිත වෙලා.
මාලිමා ආණ්ඩුව පිහිටුවන්න දර දිය ඇද්ද බොහෝ දෙනා අද අසරණයි. බොරු වපුරමින් ආණ්ඩුව බලය ගත්තා පමණක් නොවෙයි බොරු වහන්න සිය ගණනක් බොරු කීවා. ජනතාව මුළා කරන ආණ්ඩුවක් මේක. මාස හයෙන් ප්‍රශ්න විසඳනවා කී ජනාධිපතිවරයාට අද ප්‍රශ්න නැහැ. ප්‍රශ්න අමතක වෙලා. ජනතාව මංමුළා වෙලා.”
මෙම අවස්ථාවට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මාතලේ දිස්ත්‍රික් සංවිධායක නිශාන්ත ඩයස් බණ්ඩාර, හිටපු පළාත් පාලන ප්‍රධානීන් වන ලාල් අත්තනායක, ජාලිය ඕපාත, ජගත් දිසානායක, සමන්ත ධර්මසේන එල්. එම්. ලංකානායක යන මහත්වරුන් ඇතුළු පිරිසක් සහභාගි ව්ය.