නිලධාරීන්ට ප්‍රශ්නයක් වූ මහනුවර වීදි දරුවන්
මහනුවර නගරය කේන්ද්‍ර කර ගනිමින් වීදි දරුවන් 26 දෙනෙකු හඳුනාගෙන තිබෙන බවත් ඔවුන් පාසල්ගත කිරීම බරපතළ ගැටලුවක් වී තිබෙන බවත් ගඟවට කෝරළය ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ ළමා හිමිකම් ප්‍රවර්ධන නිලධාරී ඒ.එම්.එස්.බී. අබේසිංහ මහතා පවසයි.
වීදී දරුවන් 4000 – 10000ත් අතර සංඛ්‍යාවක් මෙරට සිටින බවට ඇස්තමේන්තු කර ඇති බවද මෙම දරුවන් සම්බන්ධයෙන් මෙතෙක් විධිමත් සංගණනයක් සිදු කර නැති බවද ඒ මහතා කීය.
ජාතික සාම මණ්ඩලයේ අනුග්‍රහයෙන් මහනුවර දිස්ත්‍රික් අන්තර් ආගමික කමිටුවේ මෙහෙයවීමෙන් කටුකැලේ ජුම්මා පල්ලියේ දී පැවැති සංහිඳියාව සහ ආන්තිකකරණය සම්බන්ධ වැඩසටහනක දී අබේසිංහ මහතා මේ බව අනාවරණය කළේය.
වීදී දරුවන් අතරින් බහුතරය පිරිමි දරුවන් බවත් ඔවුන් අවුරුදු 10-16 වයසේ පසුවන බවත් අබේසිංහ මහතා කීවේය.
මෙම වයසේ දරුවෙකු අනිවාර්යයෙන්ම අධ්‍යාපන කටයුතු සඳහා යොමුකළ යුතු වුවත් වීදී දරුවන් පාසල්ගත කිරීම සම්බන්ධයෙන් වගකිවයුතු අංශවල අවධානය යොමුව නැතැයි ද ඒ මහතා කීය.
කොළඹ, මහනුවර, යාපනය, මඩකළපුව, ගාල්ල යන ප්‍රදේශවල වීදි දරුවන් බහුලව දක්නට ලැබෙන බවත් වීදී දරුවන් අධ්‍යාපනය ලබන පාසල් දෙකක් මහනුවර නගර සීමාවේ තිබෙන බවත් මෙම දරුවන් අධ්‍යාපනය සඳහා වැඩි අවධානයක් යොමු නොකිරීම නිසා මෙම පාසල් දෙකේ බහුතරයක් ගුරුවරුන් රාජකාරි පැහැර හරිමින් විවේකයෙන් කාලය ගතකර රජයේ වැටුප් ලබා ගන්නා බවත් මෙහි දී අදහස් දැක්වූ ලංකා ගුරු සංගමයේ මහනුවර දිස්ත්‍රික් හිටපු ලේකම් රේණුකා මලියගොඩ මහත්මිය පැවසුවාය.
මෙම පාසල්වල සේවය කරන ගුරුවරියන් වැඩි පිරිසක් රජයේ ඉහළ තනතුරු දරන නිලධාරීන්ගේ බිරින්දෑවරු බවද ඇය කීවාය.