වන අලි සුරකින වැඩසටහනටක්
වන අලි ජීවිත සුරක්ෂිත කිරීමත් ග්‍රාමීය ජනතාවගේ දෛනික ජීවිතය සුරක්ෂිත කිරීමටත් අදාළව ක්‍රියාමාර්ග ගැනීමේදී පවතින මානව සම්පත් හිඟය මගහරවා ගැනීමට සිවිල් අරක්ෂක බළකායේ සාමාජිකයන් 5000ක් සහායකයන් ලෙස කඩිනමින් අනුයුක්ත කිරීමට කටයුතු කරන ලෙස ජනාධිපති අනුර කුමාර දිසානයක මහතා අදාළ නිලධාරින්ට ඊයේ (24) උපදෙස් දුන්නා.
වනඅලි ගැටලුව සම්බන්ධයෙන් විශේෂ සාකච්ඡාවක් ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති ලේකම් කාර්යාලයේදී ඊයේ (24) සවස පැවැති අතර ඒ අවස්ථාවට අදාළ අමාත්‍යවරු සහ නිලධාරීන් එක්ව සිටියා.
එහිදී වනජීවී දෙපාර්තමේන්තුවේ නිලධාරීන්ගේ රාජකාරි කටයුතුවලට අඩුපාඩුවක්ව පවතින වාහන සංචිත ප්‍රමාණය වැඩි කිරීමට උපදෙස් දුන් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා, ඒ වෙනුවෙන් කැබ් රථ සහ යතුරුපැදි මිලදී ගැනීමට අවශ්‍ය කඩිනම් පියවර ගන්නා ලෙස ද දැන්වූවා.
මීට අමතරව ගම්මානවලට වනඅලි ඇතුළු වීම වැළැක්වීම වෙනුවෙන් යෝජිත කිලෝමීටර් 800කින් සමන්විත ආරක්ෂක විදුලි වැට සහ අලි කොරිඩෝ 16 ප්‍රතිෂ්ඨාපන කටයුතු වෙනුවෙන් අවශ්‍ය සැලසුම් කඩිනමින් සකසා ඉදිරිපත් කරන ලෙසත් ජනාධිපතිවරයා උපදෙස් දුන්නා.
එමෙන්ම වනජීවී දෙපාර්තමේන්තුවේ සන්නිවේදන අකාර්යක්ෂමතා මගහරවා ගනිමින් ජනතාවට සමීපව ඔවුන්ගේ ගැටලු සඳහා ප්‍රතිචාර දැක්වීමටත්, තොරතුරු ලබා ගැනීම සඳහා නිසි ක්‍රමවේදයක් සකස් කරන ලෙසත් නිලධාරීන් දැනුම්වත් කිරීමට ජනාධිපතිවරයා මෙහිදී පියවර ගත්තා.
දිනෙන් දින ඉහළ යමින් පවතින වනඅලින්ට සිදුවන හිරිහැර සහ ග්‍රාමීය ජනතාවගේ දෛනික ජීවිතයට සිදුව ඇති බලපෑම සම්බන්ධ වත්මන් තත්ත්වය මෙහිදී ජනාධිපතිවරයාගේ විමසීමට ලක් කෙරුණා.
මෙහිදී නිලධාරීන් විසින් මේ සම්බන්ධව පවතින වත්මන් තත්ත්වය මෙන්ම ඊට විසඳුම් සෙවීමේදී දීර්ඝ කාලයක් තිස්සේ අදාළ ආයතන මුහුණ දෙන ගැටලු පිළිබඳ ජනාධිපතිවරයාගේ අවධානයට යොමු කරන ලදී.
මේ පිළිබඳ අදහස් දැක්වූ ජනාධිපතිවරයා ප්‍රකාශ කර සිටියේ කුමන තත්ත්වයක් යටතේ වුවද වනඅලින්ට සිදුවන හිරිහැර පිළිගත නොහැකි බවත්, ඒ වෙනුවෙන් කෙටි කාලීන, මධ්‍ය කාලීන සහ දිගු කාලීන විසඳුම් සෙවීමට පියවර ගත යුතු බවත්ය.
ග්‍රාමීය මට්ටමින් මේ පිළිබඳ සමීපව අධ්‍යයනය කරන ලෙස නිලධාරීන්ට උපදෙස් දුන් ජනාධිපතිවරයා, දේශපාලන අධිකාරිය සහ ජනතාවද සහභාගි කර ගනිමින් මෙම ගැටලුවලට නිසි විසඳුම් ලබාදිය යුතු බව ද අවධාරණය කළා.
මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල, පරිසර අමාත්‍ය ධම්මික පටබැඳි, පරිසර නියෝජ්‍ය අමාත්‍ය ඇන්ටන් ජයකොඩි, පරිසර අමාත්‍යාංශයේ ලේකම් කේ.ආර්.උඩුවාවල, වැඩබලන පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය, සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවේ අධ්යක්ෂ ජනරාල් මේජර් ජෙනරාල් පාලිත ප්‍රනාන්දු, වනජීවි දෙපාර්තමේන්තුවේ අධ්යක්ෂ ජනරාල් එම්.එස්.එල්.ආර්.පී. මාරසිංහ, නියෝජ්‍ය අධ්යක්ෂ (අලි සංරක්ෂණ) වී.එල්. තවුෆීන්, පරිසර කොට්ඨාසයේ නියෝජ්‍ය පොලිස්පති බිම්ෂානි ජාසිංආරච්චි, වන සංරක්ෂක ජනරාල් එස්.සී. පාලමකුඹුර යන මහත්ම මහත්මීහු ද ආරක්ෂක අංශවල නිලධාරීන් සහ වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීහු ද මෙම අවස්ථාවට එක්ව සිටියා.

