ඉන්දීය ප්‍රවීණයෝ දෙවැනි වරටත් පාකිස්තානය සමඟ තරගයට බෑ කියයි
එංගලන්තයේ බර්මින්හැම්හිදී ඊයේ පැවැත්වීමට නියමිත තිබූ ලෙජන්ඩ්ස් ක්‍රිකට් ලෝක ශූරතාවලියේ පාකිස්තාන චැම්පියන්ස් පිලට එරෙහි පළමු අවසන් පූර්ව තරගයට ක්‍රීඩා කිරීම ඔවුන්ගේ පරම ප්‍රතිවාදීන් වන ඉන්දීය චැම්පියන්ස් කණ්ඩායම ප්‍රතික්ෂේප කර තිබෙනවා.
දෙරට අතර පවතින දේශපාලනික අර්බුද හේතුවෙන් යුවරාජ් සිංගේ නායකත්වයෙන් යුත් ඉන්දීය කණ්ඩායම මේ තීරණය ගෙන ඇති අතර, ඔවුන් මේ තරගාවලියේ දී පාකිස්තානයට එරෙහිව තරග කිරීම ප්‍රතික්ෂේප කළ දෙවැනි අවස්ථාව මෙය වේ.
කෙසේ වෙතත් ඉන්දියාව තරග කිරීම ප්‍රතික්ෂේප කිරීම හේතුවෙන් පාකිස්තානයට නිතරග ජයක් සමඟ අවසන් මහ තරගයට එක්වීමේ අවස්ථාව උදා විය.
මේ තරගාවලියේ 5න් 4ක් ජය ගනිමින් පාකිස්තානය ප්‍රසාද ලකුණු සටහනේ පෙරමුණ ගෙන අවසන් පූර්ව වටයට පිවිසි අතර, ඉන්දියාව එක් ජයක් සමඟ සිවුවැනි ස්ථානයෙ සිට මේ තරගයට සුදුසුකම් ලැබීය.
මින් පෙර ද මේ තරගාවලියේ මූලික වටයේදී දෙපිල හමුවූ අවස්ථාවේදී යුවරාජ් සිං සමඟ ඉන්දීය හිටපු ක්‍රීඩකයන් වන සුරේෂ් රයිනා, ශිකර් ධවාන්, හර්බජන් සිං, ඉර්ෆාන් පතාන් සහ යූසුෆ් පතාන් වැනි ක්‍රීඩකයන් පාකිස්තානයට එරෙහිව ක්‍රීඩා කිරීම ප්‍රතික්ෂේප කර තිබිණි. ඒ හේතුවෙන් තරගය අත්හැර දැමීමෙන් දෙපිලටම ප්‍රසාද ලකුණ බැගින් පිරිනැමිණි. මේ අවසන් පූර්ව තරගය නැරඹීම සඳහා ප්‍රවේශපත් මිලදී ගත් ප්‍රේක්ෂකයන්ට 50%ක මුදල් ආපසු ගෙවීමට සංවිධායකයෝ කටයුතු කර තිබිණි.
මේ තරගාවලියේ දෙවැනි අවසන් පූර්ව තරගය දකුණු අප්‍රිකා චැම්පියන්ස් සහ ඔස්ට්‍රේලියා චැම්පියන්ස් කණ්ඩායම් අතර ඊයේ රාත්‍රියේ පැවැත්වීමට නියමිතව තිබිණි. මේ තරගයේ ජයග්‍රාහකයන් සහ පාකිස්තානය හෙට (2) බර්මින්හැම්හිදීම අවසන් තරගයට එක් වෙයි.