රටේ සියලු ප්‍රශ්නවලට මුල රජයේ කළමනාකරණයක් නොමැති කමයි
ආනයනික භාණ්ඩ සඳහා පනවා ඇති සෙස් බද්ද එළැඹෙන අප්‍රේල් 1 දා සිට ඉවත් කිරීමට ගෙන ඇති තීරණය හේතුවෙන් සුළු හා මධ්‍ය පරිමාණ කර්මාන්ත සියයට 90ක් කඩා වැටීමේ අවදානමක් උද්ගතව ඇතැයි හිටපු අමාත්‍ය මහාචාර්ය ජී.එල්. පීරිස් මහතා පවසනවා.
බොරැල්ල ඇන්.ඇම්. පෙරේරා කේන්ද්‍රයේ ඊයේ (25) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඒ මහතා ඒ බව පැවසූවා.
එහිදී වැඩිදුරටත් අදහස් දක්වම්න් පැවසූවේ,
“දරාගත නොහැකි ලෙස තෙල් මිල ඉහළ යෑම හේතුවෙන් ජන ජීවිතයේ සියලු ක්ෂේත්‍ර කඩා වැටෙමින් පවතිනවා. සිමෙන්ති රුපියල් 175කින් වැඩි වුණා. මේ විදියට ඉදිකිරීම් කර්මාන්තයට අවශ්‍ය සියලු ද්‍රව්‍ය සියයට 15කින් පමණ ඉහළ ගිහින්. බොරු කියලා බලයට පත්වුණු මේ රජය බලය රඳවා ගැනීමට උත්සාහ කරන්නෙත් බොරුවෙන්. ජනතාව විඳින අසාමාන්‍ය දුකට, පීඩනයට හේතුව යුද්ධය පමණක් බව රජය පෙන්වන්න උත්සාහ කළත්, ඊට එකම හේතුව යුද්ධය පමණක් නෙවෙයි. ජනතාව විඳින පීඩාවට හේතුව රජයේ නිසි කළමනාකරණයක් නොවීමයි. ආසන්නතම සිද්ධිය ගල්අඟුරු වංචාවයි. නැව් 10කින් ගෙනාපු ගල්අඟුරු ගුණාත්මකභාවයෙන් අඩු බව රජය පිළිගන්නවා. ඒ පාඩුව පිරිමහන්න දවසකට ඩීසල් ලීටර් ලක්ෂ 8ක් යොදා ගන්නවා. එය කෙළින්ම විදුලි කප්පාදුවකට හේතු වෙනවා. ඒ වගේම තෙල් පිරිපහදුව වසා දැමීමේ අවදානමක් තිබෙනවා. එහෙම වුණොත් විදුලි බලය විසන්ධි කරන්න වෙනවා. මේ සියලු ප්‍රශ්නවලට උල්පත රජයේ කළමනාකරණයක් නොවීමයි.
ඒ වගේම අප්‍රේල් 1 දා සිට ආනයන සඳහා පනවා ඇති සෙස් බද්ද ක්‍රමක්‍රමයෙන් ඉවත් කිරීමට රජය සැලසුම් කර තිබෙනවා. මෙය අතිවිශාල හානියක්. මෙය කළොත් මේ රටේ සුළු හා මධ්‍ය පරිමාණ කර්මාන්ත සියයට 90ක් කඩා වැටෙනවා. එයින් වෙන හානිය කිසිසේත් තක්සේරු කිරීමට නොහැකි වීම මරුපහරක්. මේ බද්ද පැනවීමේ අරමුණ වුණෙත් දේශීය කර්මාන්ත රැකගැනීමයි. මේ බද්දෙන් වාර්ෂිකව ඩොලර් මිලියන 400ක් උපයනවා. 2026 සිට 2029 දක්වා ක්‍රමක්‍රමයෙන් ඉවත් කිරීමට එකඟ වෙලා තිබෙන්නේ ණය වාරිකයක් ලබා ගැනීමට. ණය වාරිකයක් වෙනුවෙන් මේ තීරණය ක්‍රියාත්මක කරන්න එපා කියලා අපි ආණ්ඩුවෙන් ඉල්ලා සිටිනවා. අපේ සුළු හා මධ්‍ය පරිමාණ කර්මාන්තකරුවන් ආරක්ෂා කර ගැනීමට අවශ්‍ය පියවර ගැනීමයි රජයක් වශයෙන් කළ යුතුව තිබෙන්නේ.”

