රටේ ජාතික ආරක්ෂාව දුර්වල වෙලා
බ්‍රික්ස් සමුළුවට ආරාධනා කළ අවස්ථාවේ ජනාධිපතිවරයා ඒ සඳහා සම්බන්ධ වූයේ නම්, මීට පෙර රුසියාවෙන් ශ්‍රී ලංකාවට ඉන්ධන ලබාගැනීමට තිබූ බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක හා පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා ප්‍රකාශ කරනවා.
ඒ අනුව ජනාධිපතිවරයාට බ්‍රික්ස් සමුළුවට සහභාගි වීමට අවස්ථාව තිබූ බව පෙන්වාදෙන ඒ මහතා ඒ අවස්ථාවේ එය මඟහැරි බවද එක් එක් කාලසීමාවන්වලදී කළ යුතු දේවල් කළ යුතු බවද පෙන්වා දෙනවා.
ඒ මහතා මේ බව ප්‍රකාශ කළේ බත්තරමුල්ල, නෙළුම් මාවත ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පක්ෂ මූලස්ථානයේදී පැවැති වැඩසටහනකින් අනතුරුව මාධ්‍යවේදීන් ඇසූ ප්‍රශ්නවලට පිළිතුරු සපයමිනි.
රජය විපක්ෂය මර්දනය කරමින් සිටින බවත්, බුද්ධි අංශ ප්‍රධානීන් සිරගත කිරීම හරහා රටේ ජාතික ආරක්ෂාව දුර්වල කර ඇති බවත් නාමල් රාජපක්ෂ මහතා අවධාරණය කළා.
මෑතකදී සිදුවූ සබ්මැරීන් ප්‍රහාරය වැනි සිදුවීම් සම්බන්ධයෙන් ජනාධිපතිවරයා සහ තානාපතිවරුන් පරස්පර ප්‍රකාශ නිකුත් කිරීමෙන් රජයේ තොරතුරු ගවේෂණයේ දුර්වලතා හෙළි වන බවද සඳහන් කළා. එමෙන්ම, බ්‍රික්ස් (BRICS) සමුළුව වැනි ජාත්‍යන්තර අවස්ථා මඟහැරීම හරහා රුසියාව වැනි රටවලින් සහන මිලට තෙල් ලබාගැනීමට තිබූ අවස්ථා රජය අහිමි කරගෙන ඇති බවට ද චෝදනා කළා.
ඕනෑම මැතිවරණයකට මුහුණදීමට තම පක්ෂය සූදානම් බවත්, ඉදිරි මැතිවරණයකදී සහෝදර පක්ෂ සමඟ එක්ව තීන්දු ගන්නා බව ප්‍රකාශ කළ ඒ මහතා මීට අමතරව, USAID ආයතනයේ මුදල් වියදම් වූ ආකාරය පිළිබඳව සොයා බැලීමට පාර්ලිමේන්තු කමිටුවක් ඉල්ලා ඇත.
ඉදිරි රජයක් යටතේ ඒ පිළිබඳ ජනාධිපති කොමිසමක් පත්කර විමර්ශනය කරන බවද අවධාරණය කළා.
රජය ස්වාධීන ආයතන සහ පොලීසිය තම දේශපාලන ව්‍යාපෘති සඳහා පාවිච්චි කරමින් සිටින බවත්, ජනතාව රජයේ නොහැකියාව මේ වන විට තේරුම්ගෙන ඇති බවත් හෙතෙම ප්‍රකාශ කළා.

