රුමේෂ් වසරේ ලොව හොඳම දස්කම් පෙන්වයි
ඔස්ට්‍රේලියාවේ පැවති ලෝක මලල ක්‍රීඩා තරගාවලියේදී හෙල්ල විසිකිරීමේ ඉසව්වෙන් මේ වසර තුළ මෙතෙක් ක්‍රීඩකයකු දැක්වූ ඉහළම දක්ෂතාව දැක්වීමට ශ්‍රී ලංකාවේ රුමේෂ් තරංග සමත් විය.
පර්ත්හිදී පැවති ට්‍රැක් ක්ලැසික් තරගාවලියේදී රුමේෂ් තරංග මීටර් 85.41ක දුරක් වාර්තා කරමින් පළමු ස්ථානය දිනා ගැනීමට සමත් විය. මේ සමඟ ඉන්දියාවේ සචින් යාදව් මීටර් මීටර් 84.39කින් දක්වා තිබූ මේ වසරේ ඉහළම දක්ෂතාව දෙවැනි ස්ථානයට වැටුණේ රුමේෂ් දක්ෂතාව මෙතෙක් වාර්තා වූ ඉහළම දක්ෂතාව ලෙස සටහන් කරමිනි. මෙය තරගාවලියේ නව තරග වාර්තාවක් බවට ද පත්විය.
සිය පළමු උත්සාහයේදී මීටර් 80.60ක දුරක් සටහන් කළ රුමේෂ්, දෙවැනි සහ තෙවැනි උත්සාහයන් අසාර්ථක වීමෙන් පසු සිවුවැනි අවස්ථාවේදී මීටර් 85.41 වාර්තා කළේය. ජපානයේ රින් සුසුකි මීටර් 81.23ක් සමඟ මේ තරගයේ දෙවැනි ස්ථානයටත්, ජපානයේම යූටා සකියාමා (80.86) තෙවැනි ස්ථානයටත් පත්වූහ. කෙසේ වෙතත් 22 හැවිරිදි රුමේෂ්ගේ මේ දස්කම ජපානයේ පැවැත්වීමට නියමිත ලෝක ශූරතාවලියට ඍජු සුදුසුකම් ලබා ගැනීමට ප්‍රමාණත් නොවූ අතර, ඊට සෙන්ටිමීටර් 9ක් අඩුවිය. ඒ සඳහා පරිසාධන මට්ටම මීටර් 85.50කි. රුමේෂ් පසුගිය මස පර්ත්හිදීම මීටර් 82.66ක දක්ෂතාවක් දක්වා තිබූ අතර, ඔහුට මේ පරිසාධන මට්ටම ඉක්මවා යෑමට තවත් අවස්ථාවක් උදාවී ඇත්තේ සිඩ්නිහිදී පැවැත්වෙන මීළඟ තරගාවලියෙනි.

