පැරණි ක්‍රමයට පළාත් සභා ඡන්දය පවත්වන්න හදිසි පනතක් ගේන්න
පැරණි ක්‍රමයට පළාත් සභා මැතිවරණය පැවැත්වීම සඳහා හදිසි පනතක් ගෙන එන ලෙස විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ඊයේ (19) පාර්ලිමේන්තුවේ දී ප්‍රකාශ කළා.
පැරණි ක්‍රමයට පළාත් සභා මැතිවරණය පැවැත්වීමට විපක්ෂයේ අපි අපේ පූර්ණ සහයෝගය ලබා දෙන බව ද විපක්ෂ නායකවරයා පැවසූවා.
එහිදී වැඩිදුරටත් අදහස් පළ කළ සජිත් ප්‍රේමදාස මහතා,
“අපේ රට ශක්තිමත් කරන්න විශිෂ්ට සේවයක් කළ අපේ රටේ විශ්‍රාමික ප්‍රජාව අද අන්ත අසරණ තත්ත්වයට පත්ව තිබෙනවා. 2025 වසරේ කළ වැටුප් වැඩිකිරීම් ක්‍රියාත්මක කරනවිට රජයට අමතක වුණා විපක්ෂයේ සිටිය දී විශ්රාමකයන්ට දුන් පොරොන්දුව. විශ්‍රාමිකයන් 154000කට කිසිදු වැඩිවීමක් සිදුව නැහැ. විශාල පිරිසක් විපක්ෂයේ සිටිය දී දුන් පොරොන්දු ඇයි කඩ කරන්නේ. 2020 – 2025 හිඟ මුදලත් ලබාදිය යුතු වෙනවා. ඔවුන් ඉතාම අමාරුවෙන් ජීවත් වෙන්නේ. දයාව, කරුණාව, මෛත්‍රිය ඇති කරගෙන වැඩිහිටි ප්‍රජාවට, විශ්‍රාමික ප්‍රජාවට ලක්ෂ 15ක තැන්පතුවට පොරොන්දු වූ ආකාරයේ යුතුකම ඉටුකරන්න කියා ඉල්ලනවා. අද අපේ රටේ උප්පැන්න, මරණ, විවාහ රෙජිස්ට්‍රාර්වරු 2100ක් ඉන්නවා. මේ රෙජිස්ට්‍රාර්වරුන්ට උපත් සහ මරණවල දී ගෙවන්නේ රුපියල් 75 යි. ඒක රුපියල් 300ක් කරන්න කියා යෝජනා කරනවා. ඒ වගේම තීන්දු දීමනාවක් රුපියල් 350ක් ගෙවනවා. නාගරික ප්‍රදේශවල රුපියල් 5000ක් සහ ග්‍රාමීය ප්‍රදේශවල රුපියල් 3000ක දීමනාවක් කරන්න කියා ඉල්ලනවා”.

