කෙහෙළියගේ ඥාතියාගෙන් පැයක රහස් ප්‍රකාශයක් අධිකරණයට
හිටපු ඇමැති කෙහෙළිය රඹුක්වැල්ල මහතා විසින් නීතිවිරෝධිව උපයා ගත් රුපියල් කෝටි 74ක මුදලින් රුපියල් ලක්ෂ 300ක් සන්තකයේ තබා ගැනීමේ චෝදනා මත රක්ෂිත බන්ධනාගාරගත කර සිටි ව්‍යාපාරිකයකු වන නිමල් සිසිර කුමාර මහතා කොළඹ මහේස්ත්‍රාත් අසංක එස්. බෝදරගම මහතා හමුවේ ඊයේ (10) දින පැයක පමණ කාලයක් රහස් ප්‍රකාශයක් ලබා දී තිබෙනවා.
ව්‍යාපාරිකයා රහස් ප්‍රකාශයක් ලබාදීමට සූදානම් බව දැනුම් දුන් අවස්ථාවේ මහේස්ත්‍රාත්වරයා අදාළ රහස් ප්‍රකාශය හොඳින් සිතා බලා ස්වේච්ඡාවෙන් කළ යුතු බව සැකකරුට දැනුම් දී ඇත.
හිටපු අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල විසින් නීතිවිරෝධි ලෙස උපයා ගත් රුපියල් හැත්තෑ හතර කෝටියක මුදලක් විශුද්ධිකරණය කිරීමේ ක්‍රියාවලියට ආධාර සහ අනුබල දුන් බවට සැකපිට අත්අඩංගුවට ගත් හිටපු ඇමැතිවරයාගේ ඥාතියකු වන බණ්ඩාර රඹුක්වැල්ල සහ මේ ව්‍යාපාරිකයා ඇප මත මුදා හරින ලෙසද මහේස්ත්‍රාත්වරයා ඊයේ (10) නියෝග කළා.
මහේස්ත්‍රාත්වරයා මෙම නියෝගය සිදු කරනු ලැබුවේ සැකකරුවන් වෙනුවෙන් පෙනී සිටි නීතිඥ මඬුල්ල සිදු කළ ඉල්ලීම සලකා බැලීමෙන් අනතුරුවයි.
ඉන් අනතුරුව ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා සැකකරුවන් දෙදෙනා වෙන් වෙන්ව ලක්ෂ 50 බැගින් වූ ශරීර ඇප දෙකක් මත මුදාහැරීමට නියම කළේය. සැකකරුවන්ගේ විදෙස් ගමන් තහනම් කරමින් විදෙස් ගමන් බලපත්‍ර අධිකරණයට භාර දෙන ලෙසත් එකී නියෝගය ආගමන විගමන පාලකවරයා වෙත දන්වා යවන ලෙසටත් මහේස්ත්‍රාත්වරයා නියෝග කළා.
හිටපු අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල විසින් නීතිවිරෝධි ලෙස උපයා ගත් රුපියල් හැත්තෑ හතර කෝටියක (කෝටි 74.8) මුදලක් විශුද්ධිකරණය කිරීමේ ක්‍රියාවලියට සහාය වී ඇති බවට චෝදනා කරමින් සැකකරුවන් පසුගියදා අල්ලස් කොමිසමේ විමර්ශන නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කර තිබුණා.
2011 අංක 40 දරන මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ පනත යටතේ වැරදි සිදුකිරීම සහ ඊට ආධාර අනුබල දීම යන චෝදනා අල්ලස් කොමිසම විසින් සැකකරුවන්ට එරෙහිව ගොනු කර ඇති අතර සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශන ප්‍රගතිය ඇතුළත් වැඩිදුර වාර්තාවක් ද ඊයේ ඉදිරිපත් කරනු ලැබුවා.

