ඉරානයට අමෙරිකානු ප්‍රහාරයක අවදානමක්
අමෙරිකාව සහ ඉරානය යුද්ධයකට ආසන්න වෙමින් තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.
අමෙරිකානු ජනාධිපතිවරයා ඉරානයේ හමුදා මැදිහත්වීමක් සම්බන්ධව මෙතෙක් අවසන් තීරණයක් ගෙන නොමැති අතර, ධවල මන්දිරය ඉරානයට අනතුරු අඟවා ඇත්තේ රාජ්‍යතාන්ත්‍රික උත්සාහයන් සහ සාකච්ඡා කිරීමේ අවස්ථාව තවදුරටත් පවතින බැවින් අමෙරිකාව සමඟ න්‍යෂ්ටික වැඩසටහන් ගිවිසුමකට පැමිණීම ඉරානයට ඉතා ඥානාන්විත තෝරාගැනීමක් වනු ඇති බවයි.
විදෙස් මාධ්‍ය සඳහන් කර ඇත්තේ අමෙරිකාවෙන් ඉරානයට එල්ල විය හැකි ප්‍රහාර වෙනිසියුලාවේ සිදු කළ මෙහෙයුම වැනි ඉතා කෙටිකාලීන ප්‍රහාරයක් නොව සති ගණනාවක් පුරා ඇදී යා හැකි දැවැන්ත මෙහෙයුමක් වනු ඇති බවයි.
ඉරානය සම්බන්ධව ඩොනල්ඩ් ට්‍රම්ප් සහ අමෙරිකාවේ ආරක්ෂක ප්‍රධානීන් අතර පෙරේදා දීර්ඝ වශයෙන් සාකච්ඡා කර ඇති බවත්, අමෙරිකානු ජනාධිපතිවරයා හමුදා ප්‍රහාර ඇතුළු විකල්ප කිහිපයක් සඳහා සති අන්තයේදී නියෝග නිකුත් කරනු ඇතැයි අමෙරිකාවේ ආරක්ෂක අංශ මූලාශ්‍ර සඳහන් කළ බව ද විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කරයි.
ජිනීවා නුවර පැවති සාකච්ඡා විසඳුමකින් තොරව නිමාවට පත්වීමෙන් පසු අමෙරිකානු ජනාධිපතිවරයා න්‍යෂ්ටික වැඩසටහන සම්බන්ධව ඉරානයේ ප්‍රතිචාර අපේක්ෂාවෙන් පසුවන බවත්, ඒ අතරතුර හමුදා ක්‍රියාමාර්ග ගැනීම සම්බන්ධයෙන් ද සලකා බලමින් සිටින බවත් ධවල මන්දිරයේ ප්‍රකාශිකා කැරොලින් ලෙවිට් මාධ්‍ය හමුවකදී ප්‍රකාශ කර තිබෙනවා.
ඉරානයට ප්‍රහාරයක් එල්ල කිරීම සඳහා ඩොනල්ඩ් ට්‍රම්ප්ගෙන් නියෝගයක් නිකුත් වීම ඉතා ආසන්න වී ඇති බැවින් ඊට සූදානම් වීම සඳහා මැදපෙරදිග මුහුදු කලාපයට තවත් යුද නැව්, ගුවන් ආරක්ෂක සහ සබ්මැරින් ඇතුළු විශාල හමුදා බළකායක් යොමු කිරීමට අමෙරිකාවේ ආරක්ෂක දෙපාර්තමේන්තුව තීරණය කර ඇතැයි ද වාර්තා වෙනවා.
මැදපෙරදිගට යොමු කර ඇති ජෙරාල්ඩ් ෆෝඩ් සහ එහි සහායක නැව් අත්ලාන්තික් සාගරය හරහා මධ්‍යධරණී මුහුදට යාත්‍රා කරමින් සිටින බවත්, ඉදිරි දින කිහිපයේදී එම නෞකා දැනටමත් අරාබි මුහුදේ රඳවා ඇති ඒබ්‍රහම් ලින්කන් යුද නෞකාව සහ සෙසු ප්‍රහාරක යාත්‍රා සමඟ එක්වනු ඇති බවත් විදෙස් මාධ්‍ය සඳහන් කරනවා.

