ඉරානයේ මරණ ගණන ඉහළට
අමෙරිකානු සහ ඊශ්‍රායල හමුදාව ඒකාබද්ධව ඉරානයට එරෙහිව ආරම්භ කළ යුද්ධයට ඊයේ වනවිට දින 16ක් සම්පූර්ණ වී ඇති අතර, ඉරානය, ඊශ්‍රායලය සහ මැදපෙරදිග රටවල මියගිය ගණන 1478 දක්වා ඉහළ ගොස් ඇතැයි වාර්තා වෙනවා.
අල් ජසීරා පුවත් සේවයේ දත්ත සංඛ්‍යාලේඛනවලට අනුව අමෙරිකානු හා ඊශ්‍රායල ප්‍රහාරවලින් පසු ඉරාන හමුදාව මැදපෙරදිග රටවල් 9කට ප්‍රහාර එල්ල කර ඇති අතර, බහරේනය, ඉරාකය, ජෝර්දානය, කුවේට්, ඕමානය, කටාර්, සෞදි අරාබිය සහ එක්සත් අරාබි එමීර් රාජ්‍යය ප්‍රහාරවලට ලක්වී තිබේ.
ඉරානයේ පමණක් ජීවිත 1,444ක් යුද්ධයට බිලිවී ඇති අතර, ඊශ්‍රායලයේ මරණ 15ක් ද, ගල්ෆ් කලාපයේ මරණ 19ක් ද සිදුවී ඇතැයි අල් ජසීරා පුවත් සේවය වැඩිදුරටත් වාර්තා කළා.
මීට අමතරව ඉරාන ප්‍රහාරවලින් අමෙරිකානු සෙබළුන් 13 දෙනකු ද ජීවිතක්ෂයට පත්වූ බව වාර්තා වනවා.
යුද්ධය ආරම්භවූ දිනයේ සිට ඉරානයේ ඉලක්ක 5,000ක් වෙත පහර දුන් බව අමෙරිකාවේ මධ්‍යම අණදෙන මධ්‍යස්ථානය නිවේදනය කර ඇති අතර, ඉරාන ඉස්ලාමීය විප්ලවවාදී ආරක්ෂක හමුදාව නිවේදනය කර ඇත්තේ මැදපෙරදිග පිහිටි අමෙරිකානු ඉලක්ක 27ක් වෙත ප්‍රහාර එල්ල කළ බවයි.
ඉරාන ප්‍රහාරවලින් ඊශ්‍රායලයේ ටෙල් අවිව්, ජෙරුසලම් ඇතුළු නගර රැසකට දරුණු හානි සිදුවී ඇතැයි ද වාර්තා වේ.
ඉරානයේ ප්‍රාන්ත රැසක් ඉලක්ක කරමින් අමෙරිකාව සහ ඊශ්‍රායලය එල්ල කළ ප්‍රහාරවලින් පුද්ගලයන් 18,551 දෙනකු තුවාල ලබා ඇති අතර, ඊශ්‍රායලයේ තුවාල ලැබූ පිරිස 3,138 ක් බව ද වාර්තා වේ. ඉරාන ප්‍රහාරවලින් සිය හමුදා සෙබළු 150කට ආසන්න පිරිසක් තුවාල ලැබූ බව පෙන්ටගනය තහවුරු කර ඇතැයි ද වාර්තා වේ.
ඉරාන ප්‍රහාරවලින් ජෝර්දානයේ පුද්ගලයන් 28 දෙනකු සහ කටාර් රාජ්‍යයේ 16 දෙනකු තුවාල ලබා ඇති අතර, ඕමානයේ ද තුවාල ලැබූ පිරිස 15ක් බවට වාර්තා වී තිබෙනවා.
සෞදි අරාබියේ පුද්ගලයන් 12 දෙනකු සහ එක්සත් අරාබි එමිර් රාජ්‍යයේ 141 දෙනකු ඉරාන ප්‍රහාරවලින් තුවාල ලැබූ බව අල් ජසීරා පුවත් සේවය සඳහන් කළා.
ඉරානයට එල්ල කරන ප්‍රහාර අතරතුර ඉරාන හිතවාදී හෙස්බුල්ලා සංවිධානය ඉලක්ක කරමින් ඊශ්‍රායල හමුදාව ලෙබනනයට ද ප්‍රහාර එල්ල කරමින් සිටින අතර, ඊයේ වනවිට ලෙබනනයේ ප්‍රහාරවලින් පුද්ගලයන් 826 දෙනකු ජීවිතක්ෂයට පත්වූ බවත්, තවත් දෙදහසකට අධික පිරිසක් තුවාල ලබා ඇති බවත් එරට සෞඛ්‍ය අමාත්‍යාංශය නිවේදනය කර තිබෙනවා.

