ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායමට බංග්ලාදේශ තරගාවලියක්
ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම ලබන මාසයේ බංග්ලාදේශයේ සංචාරයක නිරත වන අතර එහිදී එක්දින තරග 3කට හා විස්සයි20 තරග තුනකට මුහුණදීමට නියමිතයි.
ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම බංග්ලාදේශයේදී එක්දින සහ විස්සයි20 ද්විපාර්ශ්වික තරගාවලියක් ක්‍රීඩා කරන පළමු අවස්ථාව මෙය ලෙස ඉතිහාසගත වෙනවා.
තරග කාලසටහනට අනුව, ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම අප්‍රේල් 17 වැනි දින බංග්ලාදේශය බලා පිටත්වන අතර, ඔවුන් එදිනම ඩකා සිට කිලෝමීටර් 252ක් දුරින් පිහිටි රාජ්ෂාහි බලා පිටත්වේ. අප්‍රේල් 18 සහ 19 යන දිනවල පුහුණුවීම්වලින් පසු, අප්‍රේල් 20 වැනි දින රාජ්ෂාහි ප්‍රාදේශීය ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී බංග්ලාදේශයට එරෙහිව පළමු එක්දින තරගයට ක්‍රීඩා කරනු ඇත.
තරගාවලියේ ඉතිරි තරග දෙක අප්‍රේල් 22 සහ 25 යන දිනවල එම ක්‍රීඩාංගණයේදීම පෙරවරු 9.30ට ආරම්භ වීමට නියමිතයි.
නැගී එන කණ්ඩායම් සහභාගිවූ තරග පවත්වා ඇති රාජ්ෂාහි ප්‍රාදේශීය ක්‍රීඩාංගණයේ මේ දක්වා කිසිදු ජාත්‍යන්තර තරගයක් පවත්වා නොමැති අතර, එම නගරය තුළ ජාත්‍යන්තර ක්‍රිකට් තරග පවත්වා සංචාරක කර්මාන්තයට රුකුලක් දීම බංග්ලාදේශයේ අපේක්ෂාව වී තිබෙනවා.
එක්දින තරගාවලියෙන් පසු ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම අප්‍රේල් 26 වැනි දින රාජ්ෂාහි සිට කිලෝමීටර් 460ක් දුරින් පිහිටි සිල්හෙට් බලා පිටත්වන අතර, අප්‍රේල් 28 වැනිදා සිල්හෙට් ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී බංග්ලාදේශයට එරෙහිව පළමු විස්සයි20 තරගයට මුහුණ දෙනු ඇත. අප්‍රේල් 30 සහ මැයි 2 යන දිනවල පැවැත්වෙන තරගාවලියේ ඉතිරි තරග දෙක එම සිල්හෙට් ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදීම පැවැත්වෙනවා.
විස්සයි20 තරගාවලියේ සියලු තරග සවස 6ට ආරම්භ වන අතර, ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම මැයි 3වැනිදා ලංකාව බලා පිටත්වීමට නියමිතයි.
ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම අවසන් වරට බංග්ලාදේශයේදී එක්දින තරගයක් ක්‍රීඩා කළේ 2011 වසරේ කාන්තා ලෝක කුසලාන සුදුසුකම් ලැබීමේ තරගාවලියේදීයි.
ඊට පෙර, ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම 2009 වසරේ කාන්තා තුන්කොන් තරගාවලියේදී බංග්ලාදේශයේදී එක්දින තරගයක් ක්‍රීඩා කළා. බංග්ලාදේශය සහ පාකිස්තානය සම්බන්ධ වූ එම තුන්කොන් තරගාවලියේදී ශෂිකලා සිරිවර්ධනගේ නායකත්වයෙන් පිටියට පිවිසි ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම ජයග්‍රහණය වාර්තා කර තිබෙනවා.

