බලශක්ති ඇමති ඇප මත මුදාහැරේ
දූෂණ චෝදනාවක් සම්බන්ධයෙන් බලශක්ති අමාත්‍ය කුමාර ජයකොඩි මහතාට අද (27) කොළඹ මහාධිකරණය හමුවේ අධිචෝදනා පත්‍ර භාර දුන් බව අප වාර්තාකරු පවසනවා.
කොළඹ මහාධිකරණ විනිසුරු රශාන්ත ගොඩවෙල මහතා ඉදිරියේ මෙම චෝදනා භාරදීම සිදුවූ අතර මීට පෙර නිකුත් කළ සිතාසියකට අනුව විත්තිකරු අද අධිකරණයට පෙනී සිට තිබෙනවා.
අධිචෝදනා භාරදීමෙන් පසු, විත්තිකරු රුපියල් ලක්ෂ 10 බැගින් වූ ශරීර ඇප දෙකක් මත මුදා හැරීමට නියෝග කර ඇති අතර, ඔහුගේ ඇඟිලි සලකුණු ලබාගෙන වාර්තාවක් ඉදිරිපත් කරන ලෙසද අධිකරණය නියම කර තිබෙනවා.
අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින් ගොනු කර ඇති චෝදනාවට අනුව, 2016 දී ලංකා පොහොර සමාගමේ සේවය කරමින් සිටියදී ප්‍රසම්පාදන ක්‍රියාවලියකදී පුද්ගලික සමාගමකට වාසියක් සැලසීමෙන් රජයට රුපියල් 8,859,708 ක පාඩුවක් සිදුවූ බවට ඔහුට චෝදනා එල්ල වී තිබෙනවා.
එමඟින් අල්ලස් හෝ දුෂණ විරෝධී පනතේ 70 වැනි වගන්තිය යටතේ ‘දුෂණය’ නමැති වරද කළ බවටද විත්තිකරුට එරෙහිව අල්ලස් කොමිසම චෝදනා නඟා තිබෙනවා.
මෙම නඩුව පූර්ව නඩු විභාග සම්මන්ත්‍රණය සඳහා මැයි 6 වනදා යළි කැඳවීමට නියම කර ඇත.

