free web stats

සිංහල හා දෙමළ අලුත් අවුරුද්ද අද උදාවේ

හෙළයේ මහා සංස්කෘතික මංගල්‍යය, සිංහල හා දෙමළ අලුත් අවුරුද්ද අද (14) උදාවීමට නියමිතව තිබෙනවා.

රාශි චක්‍රයේ සූර්යයා මීන රාශියෙන් මේෂ රාශියට සංක්‍රමණය වීම අලුත් අවුරුදු උදාව ලෙස සැලකෙනවා.

උදාවෙන අලුත් අවුරුද්දේ සුබ නැකැත්වලට අනුව චාරිත්‍රවාරිත්‍ර සිදුකිරීම අතීතයේ පටන් පැවති සම්ප්‍රදායක් වේ.

නැකත් සීට්ටුවට අනුව අලුත් අවුරුද්ද උදාවන්නේ අද (14) පූර්වභාග 09.32ට යි.

අවුරුදු උදාවට පෙර පුණ්‍ය කාලය ආරම්භ වන අතර එය අද 14 වැනි අඟහරුවාදා පූර්වභාග 03.08 සිට අපරභාග 03.56 දක්වා පවතිනු ඇත.

එම කාලය තුළ සියලු වැඩ අත්හැර, ආගමික වතාවත්වල යෙදීම යෝග්‍ය වන අතර පුණ්‍ය කාලයේ අපර කොටසේදි ආහාර පිසීම, වැඩ ඇල්ලීම, ගනුදෙනු කිරීම ආදි නැකත් චාරිත්‍රවල යෙදීම සුදුසුවේ.

ආහාර පිසීමේ නැකත යෙදී ඇත්තේ අද 14 වැනි අඟහරුවාදා පූර්වභාග 10.51ට යෙදී ඇති බව නැකත් සීට්ටුවේ සඳහන් වේ.

රක්ත වර්ණ වස්ත්‍රාභරණයෙන් සැරසී දකුණු දිශාව බලා ලිප් බැඳ ගිනි මොලවා කිරිබතක්ද කැවිලි වර්ගයක්ද දී කිරි සහ විළඳ ද පිළියෙළ කර ගතයුතුයි.

වැඩ අල්ලා ගනුදෙනු කොට ආහාර අනුභව කිරීමේ නැකත යෙදී ඇත්තේ අද 14 වැනි අඟහරුවාදා අපරභාග 12.06ට වේ.

රක්ත වර්ණ වස්ත්‍රාභරණයෙන් සැරසී දකුණු දිශාව බලා වැඩ අල්ලා ගනුදෙනු කොට ආහාර අනුභවය කළ යුතු බව නැකැත් සීට්ටුවේ සඳහන්වේ.

අලුත් අවුරුද්දේ හිසතෙල් ගෑමේ චාරිත්‍රය අප්‍රේල් මස 15 වැනි බදාදා පූර්වභාග 6.55ට යෙදී තිබෙනවා.

රැකී රක්ෂා සඳහා පිටත්ව යෑමේ නැකත අප්‍රේල් 20 වැනි සඳුදා පූර්වභාග 06.27ට යෙදී ඇති බව නැකත් සීට්ටුවේ වැඩිදුරටත් සදහන් වේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *