හෝමූස් විවෘත කිරීමට ඉරානයෙන් කොන්දේසි 10ක්
හෝමූස් සමුද්‍ර සන්ධිය යළි විවෘත කර යුද්ධය නිමාවට පත් කිරීම සඳහා ගිවිසුමකට එළැඹීමට ඉරාන රජය පාකිස්තානය හරහා අමෙරිකාවට නව යෝජනාවලියක් ඉදිරිපත් කර ඇතැයි වාර්තා වෙනවා.
යෝජනාවලියට ඉදිරිපත් වී ඇත්තේ ඉරානය සමඟ සෘජු සාකච්ඡාවකට සූදානම් බවට ඩොනල්ඩ් ට්‍රම්ප් සිදු කළ නිවේදනයෙන් පසුව බවත් විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
එහෙත් එම යෝජනාවලියට න්‍යෂ්ටික වැඩසටහන ඇතුළත් නොවන බව ද වාර්තා වේ.
වෙළෙඳ නෞකාවලට කිසිදු අවහිරතාවකින් තොරව හෝමූස් සමුද්‍ර සන්ධිය ඔස්සේ යාත්‍රා කිරීමට ඉඩ ලබාදීම සඳහා අමෙරිකාව විසින් දැනට ක්‍රියාත්මක කරමින් සිටින ඉරාන වරායන් අවහිර කිරීම අත්හිටුවිය යුතු බව ද යෝජනාවලියට ඇතුළත් වී ඇති අතර, ඕනෑම ආකාරයක සාකච්ඡාවක් පැවත්වීමට නම් අමෙරිකාව මේ යෝජනාවලිය පිළිගත යුතු බව ඉරාන පාර්ලිමේන්තුවේ ජාතික ආරක්ෂක සහ විදේශ ප්‍රතිපත්ති කමිටුවේ ප්‍රකාශක ඉබ්රාහිම් රීසායි සඳහන් කර තිබෙනවා.
යුරේනියම් නිස්සාරණය කිරීමට ඉරානයට ඇති අයිතිය පිළීගැනීම, ඉරානයට එල්ල කළ ප්‍රහාරවලට වන්දි ගෙවීම සහ හෝමූස් සමුද්‍ර සන්ධිය පාලනය කිරීමට ඉරානයට ඇති අයිතිය පිළිගැනීම ඇතුළු කොන්දේසි 10ක් එම යෝජනාවලියට ඇතුළත් බව ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කර ඇතැයි වාර්තා වෙනවා.
කෙසේ වෙතත් න්‍යෂ්ටික වැඩසටහන ඇතුළත් කර නොමැති බැවින් ඉරානයේ යෝජනාවලියට අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ එකඟතාව පළවීම අවිනිශ්චිත බවට ද වාර්තා පළ වී තිබෙනවා.
පසුගියදා ඉස්ලාමාබාද් අගනුවරදී පැවැත්වීමට නියමිතව තිබූ සාකච්ඡාවෙන් සිය නියෝජිතයන් ඉවත් කරගැනීමෙන් පසු අමෙරිකානු ජනාධිපතිවරයා මේ නිවේදනය නිකුත් කළ අතර, ඉරානයට අමෙරිකාව සමඟ සාකච්ඡා කිරීමට අවශ්‍ය නම් ඒ සඳහා ඉඩකඩ තිබෙන බවත්, පැමිණ හමුවීමට හෝ දුරකතන මාර්ගයෙන් එම සාකච්ඡාව සිදු කළ හැකි බවත් ඩොනල්ඩ් ට්‍රම්ප් නිවේදනය කර තිබුණා.

