ශ්‍රී ලංකා-පාකිස්තාන-එංගලන්ත එක්දින තරගාවලියක්
ලබන වසරේ පැවැත්වෙන එක්දින ලෝක කුසලානයට පෙරහුරුවක් ලෙස මේ වසරේ ඔක්තෝබර් මාසයේදී ශ්‍රී ලංකාව – පාකිස්තානය සහ එංගලන්තය අතර තුන්කොන් එක්දින තරගාවලියක් පාකිස්තානයේදී පැවැත්වීමට කටයුතු යොදා තිබෙනවා.
එළැඹෙන එක්දින ලෝක කුසලානය ලබන වසරේදී දකුණු අප්‍රිකාව, සිම්බාබ්වේ හා නැමීබියාව වැනි රටවල් කේන්ද්‍රකොට පැවැත්වීමට අයිසීසීය කටයුතු යොදා ඇත.
ජියෝ සුපර් මාධ්‍ය වාර්තාවකට අනුව, ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පාකිස්තානයේ පැවැත්වීමට නියමිත ටෙස්ට් තරගාවලිය අතරතුරදී මේ අමතර තුන්කොන් එක්දින තරගාවලියට නිල වශයෙන් එකඟ වී තිබේ.
එංගලන්ත සහ වේල්ස් ක්‍රිකට් මණ්ඩලය ද ඕවර 50 ආකෘතියේ තරගාවලියට සහභාගි වන බව දැනුම් දී ඇති අතර, මේ සංචාරයේදී ශ්‍රී ලංකාව හා පාකිස්තානය අතර, විස්සයි20 තරග තුනක් ද පාකිස්තානයේදී ක්‍රීඩා කරනු ඇත.
තුන්කොන් එක්දින තරගාවලියෙන් පසුව, ශ්‍රී ලංකාව සහ පාකිස්තානය නොවැම්බර් මාසයේදී ලෝක ටෙස්ට් ශූරතාවලියට අයත් තරග දෙකකින් යුත් ටෙස්ට් තරගාවලිය ආරම්භ කරන අතර, එය 2025 සිට 2027 දක්වා ක්‍රියාත්මක වන අයිසීසී ලෝක ටෙස්ට් ලකුණු සටහනට අදාළ වේ.
කණ්ඩායම් තුනේම සහභාගිත්වය තහවුරු කර ඇති බැවින්, තුන්කොන් එක්දින තරගාවලියේ කාලසටහන් සාකච්ඡා කිරීමේ අවසන් අදියරට පැමිණ ඇත.
එම කටයුතු අවසන් වූ පසු, එක්දින තුන්කොන් තරගාවලියේ කාලසටහන හා පැවැත්වෙන ක්‍රීඩාංගණ ඉක්මනින් ප්‍රකාශයට පත් කරන බව පාකිස්තාන ක්‍රිකට් ආයතනය පවසා ඇත.

