රුසියානු ජනාධිපතිත් හෙට චීනයට
රුසියානු ජනාධිපති ව්ලැදිමිර් පුටින් හෙට (19) චීනයේ නිල සංචාරයක නිරතවන බව මොස්කව් නුවර ජනාධිපති කාර්යාලය නිවේදනය කර තිබෙනවා.
රුසියාව සහ චීනය අතර පුළුල් හවුල්කාරිත්වය සහ උපායමාර්ගික සහයෝගිතාව තවදුරටත් ශක්තිමත් කරගැනීම අරමුණු කරමින් රුසියානු ජනාධිපතිවරයා හෙට සහ අනිද්දා බීජිං නුවර සංචාරය කරන බව ක්රෙමලීනය සිය නිවේදනයේ සඳහන් කර ඇතැයි අල් ජසීරා පුවත් සේවය වාර්තා කළා.
අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ ඓතිහාසික චීන සංචාරයෙන් පැය 48ක් ගතවීමට පෙර රුසියානු රජය මේ නිවේදනය නිකුත් කර ඇති අතර, සතියක් ඇතුළත චීනය ලොව ප්රබලතම රටවල් දෙකක රාජ්‍ය නායකයන්ට සත්කාරකත්වය ලබා දෙන පළමු අවස්ථාව මෙය බව ද වාර්තා වේ.
සිය සංචාරය අතරතුර ව්ලැදිමිර් පුටින් සහ චීන අගමැති ලි කියැං අතර ආර්ථික සහ වෙළෙඳ සහයෝගිතා සාකච්ඡාවක් පැවැත්වීමට නියමිතව ඇති අතර, වසර 2001දී දෙරට අතර අත්සන් තැබූ මිත්රශීලී සහයෝගිතා ගිවිසුමට වසර 25ක් සම්පූර්ණ වීම ද මේ සංචාරයේදි සමරනු ඇතැයි රුසියාවේ ටාස් පුවත් ඒජන්සිය වාර්තා කළා.

