‘දිට්වා’ කුණාටු සහන වියදම් වාර්තාව ළඟදීම පාර්ලිමේන්තුවට
‘දිට්වා’ සුළි කුණාටුවෙන් පීඩාවට පත් ජනතාවට රජය ලබා දුන් සහනයන් පිළිබඳ, සියලු වියදම් සම්බන්ධයෙන් සවිස්තරාත්මක වාර්තාවක් නුදුරේදීම පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට කටයුතු කරන බව කම්කරු ඇමැති සහ මුදල් හා ක්‍රමසම්පාදන නියෝජ්‍ය ඇමැති ආචාර්ය අනිල් ජයන්ත ප්‍රනාන්දු මහතා ප්‍රකාශ කළා.
පීඩාවට පත්වූ ජනතාවට සහන සැලසීමට ක්‍රියා කරද්දී කිසිදු රුපියලක් අයථා ලෙස පරිහරණය නොකරන බවටත්, සියලු වියදම් නියමිත පරමාර්ථ සඳහාම පමණක් යොදවන බවටත් තමා මහජනතාවට සහතික වන බව ද ඇමැතිවරයා පැවසූවා.
ඒ අනුව පාර්ලිමේන්තුවේ අනුමැතිය යටතේ වෙන් කරන ලද රුපියල් බිලියන 500ක මුදලින් සිදුකළ කටයුතු පිළිබඳත් ‘Rebuilding Sri Lanka’ අරමුදලට ලැබුණු පරිත්‍යාගයන් සම්බන්ධයෙනුත් විස්තරාත්මක වාර්තාවක් ඉදිරිපත් කිරීමට නියමිත බව ද ඇමැතිවරයා පවසනවා.
රජය වෙන්කළ රුපියල් බිලියන 500ක මුදලින් මේ වන විටත් රුපියල් බිලියන 200කට වැඩි ප්‍රමාණයක් ජනතා සහන වෙනුවෙන් වියදම් කර අවසන් බවත්, මහජනතාව පරිත්‍යාග කළ රුපියල් බිලියන 10ක මුදල ද මෙම සහන කටයුතු සඳහාම යොදවා ඇති අතර, එහි විස්තරාත්මක වාර්තාවක් ඉදිරියේදී පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට රජය සූදානම් බව ඇමැතිවරයා පවසනවා.
‘දිට්වා’ සුළි කුණාටුවෙන් පීඩාවට පත් ජනතාවට සහන සැලසීම සඳහා පිහිටුවා ගත් ‘Rebuilding Sri Lanka’ අරමුදල සම්බන්ධයෙන් සමාජය තුළ පැතිර යන අසත්‍ය මත බැහැර කරමින්, එහි සියලු මූල්‍ය කටයුතු පාරදෘශ්‍යව හා විගණනයට යටත්ව සිදු කරන බවත් ආචාර්ය අනිල් ජයන්ත ප්‍රනාන්දු මහතා අවධාරණය කළා.
සුළි කුණාටු විපතින් පීඩාවට පත් ජනතාව යථා තත්ත්වයට පත් කිරීම සඳහා රජය විසින් රුපියල් බිලියන 500ක පරිපූර්ණ ඇස්තමේන්තුවක් සකස් කර ඇති බව අමාත්‍යවරයා සඳහන් කළා.
මෙම මුදල් රජය විසින් ඉතිරි කරගන්නා ලද අතිරික්ත ප්‍රතිපාදන වේ. මෙයට අමතරව, දෙස්විදෙස් දායකත්වය ලබා දීමට කැමති පිරිස් සඳහා ‘Rebuilding Sri Lanka’ නමින් අරමුදලක් පිහිටුවා ඒ සඳහා කැබිනට් අනුමැතිය සහ අග්‍රාමාත්‍යවරියගේ ප්‍රධානත්වයෙන් විශේෂ කාර්යසාධක බළකායක් ද පත්කර ඇත.
සමාජය තුළ පතුරුවන අසත්‍ය මතයන්ට පිළිතුරු දෙමින් අමාත්‍යවරයා පැහැදිලි කළේ, මෙම අරමුදලට මෙතෙක් ලැබී ඇති මුදල රුපියල් බිලියන 10කට ආසන්න බවයි. එම සියලු මුදල් තැන්පත් කර ඇත්තේ පෞද්ගලික ගිණුම්වල නොව, මහා භාණ්ඩාගාරයේ නියෝජ්‍ය ලේකම්වරයාගේ නමින් පවතින නිල ගිණුම්වලයි. මෙම මුදල් මහා භාණ්ඩාගාරයේ ඒකාබද්ධ අරමුදල යටතේ පවතින බැවින් ඕනෑම අවස්ථාවක විගණනයට යටත් කළ හැකි බව අමාත්‍යවරයා වැඩ්දුරටත් පැවසූවා.

