ගෝඨාභයගේ පෙත්සමේ වැඩිදුර කරුණු සලකා බැලීම කල් යයි – Update
පාස්කු ඉරුදින එල්ල වූ ත්‍රස්ත ප්‍රහාර සිද්ධිය සම්බන්ධයෙන් සිදු කරන විමර්ශනවලට අදාළව තමන්ව අත්අඩංගුවට ගැනීම වළක්වාලන නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඉදිරිපත් කළ පෙත්සමේ වැඩිදුර කරුණු සලකා බැලීම ලබන 24 වනදා දක්වා කල් තැබීමට අභියාචනාධිකරණය නියම කළා.
මෙම පෙත්සම සලකා බැලීම අද (18) රොහාන්ත අබේසූරිය සහ සරත් දිසානායක යන මහත්වරුන්ගෙන් සමන්විත අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ සිදු කෙරුණා.
පෙත්සම්කාර ගෝඨාභය රාජපක්ෂ මහතා වෙනුවෙන් ජනාධිපති නීතීඥ රොමේෂ් ද සිල්වා මහතා කරුණු දක්වා සිටියා.
වගඋත්තරකරුවන් වෙනුවෙන් නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් සූහරශී හේරත් මහත්මිය පෙනී සිටියා.
මෙම පෙත්සමේ වගඋත්තරකරුවන් ලෙස පොලිස්පතිවරයා, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධ්‍යක්ෂ ශානි අබේසේකර, එහි ස්ථානාධිපති මාධව ගුණවර්ධන සහ නීතිපතිවරයා නම් කර තිබෙනවා.
ගෝඨාභයගේ පෙත්සම සලකා බැලීම අද
පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් සිදු කෙරෙන විමර්ශනවලට අදාළව තමන්ව අත්අඩංගුවට ගැනීම වැළැක්වීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ඉදිරිපත් කළ පෙත්සම අද (18) දින කැඳවීමට අභියාචනාධිකරණය නියෝග කර තිබෙනවා .
මෙම පෙත්සම ඊයේ (17) අභියාචනාධිකරණයේ සභාපති විනිසුරු රොහාන්ත අබේසූරිය සහ ප්‍රියන්ත ප්‍රනාන්දු යන මහත්වරුන්ගෙන් සමන්විත විනිසුරු මඬුල්ල හමුවේ කැඳවනු ලැබුවා .
එහිදී සභාපති විනිසුරුවරයා නියෝග කළේ පෙත්සම කරුණු තහවුරු කිරීම සඳහා අද (18) දිනයේ යළි කැඳවන ලෙසයි.
ඒ අනුව, මෙම පෙත්සම අද (18) දින අභියාචනාධිකරණයේ සභාපති විනිසුරු රොහාන්ත අබේසූරිය සහ සරත් දිසානායක යන මහත්වරුන්ගෙන් සමන්විත විනිසුරු මඬුල්ල ඉදිරියේ සලකා බැලීමට නියමිතයි .

