free web stats

පොප් රජු ජැක්සන් ගැන හෙලිකරපු ඇඟ හිරිවැටෙන හෙළිදරව්ව

මයිකල් ජැක්සන් (Michael Jackson) කියන නම ඇහෙද්දීම අපේ හිතට එන්නේ මොන වගේ රූපයක්ද?
ස්ටේජ් එකක් උඩ ලෝකයම හොල්ලන Moonwalk එකෙන් මිලියන ගණන් සෙනඟ පිස්සු වට්ටන, Pop සංගීතයේ අසහාය රජුගේ රූපය නේද? හැබැයි මේ දිලිසෙන, ලස්සන ලෝකයට පිටිපස්සෙන් තිබුණු ඇත්තම කතාව ඊට වඩා ගොඩක් වෙනස්.

මිලියන ගණන් රසිකයෝ වට කරගෙන හිටපු, ලෝකයේ ඕනෑම රටක තමන්ගේ නම කියද්දී මිනිස්සු සිහි නැතිව ඇදගෙන වැටුණු ඒ අසහාය තරුව, අසරණ වුණු මනුස්සයෙක් කියලා අපිට හිතාගන්නවත් පුළුවන්ද?

මේ ළඟකදී මයිකල් ජැක්සන්ගේ පෞද්ගලික ආරක්ෂකයා (Bodyguard) විදියට වසර 10ක් (1999 ඉඳන් 2009 වෙනකම්) සෙවණැල්ල වගේ එකටම හිටපු මැට් ෆිඩෙස් (Matt Fiddes), The Art of Dialogue පොඩ්කාස්ට් එකට ඇවිත් අපූරු වගේම හිත රිදෙන රහස් කිහිපයක් හෙළි කළා.

මේ කතාව ඇහුවම අපිට හිතෙන්නේ ඇයි දෙයියනේ මෙච්චර මිනිස්සු ආදරේ කරපු කෙනෙකුට මෙහෙම වුණේ කියලා.

අද අපි බලමු ජැක්සන්ගේ ඒ දිලිසෙන ජීවිතේ අඳුරු පැත්ත ගැන ඔහුගේ බොඩිගාර්ඩ් කියපු ඇත්තම කතාව.

මැට් ෆිඩෙස් කියන විදියට, මයිකල් ජැක්සන් කියන්නේ ලෝකයේ ඉහළම තැනක වැජඹුණු, ඒ වගේම ලෝකයේ තනිවම හිටපු මනුස්සයා. ස්ටේජ් එක උඩදී ලෝකෙම එයාගේ නම කියල කෑගහද්දී, ප්‍රසංගය ඉවර වෙලා හෝටල් කාමරයට එන මයිකල් ජැක්සන්ව දකින්න ලැබෙන්නේ සම්පූර්ණයෙන්ම වෙනස් කෙනෙක් විදියට.

ස්ටේජ් එක උඩ ඉන්නකොට එයා රජෙක්. හැබැයි ඒ හැමදේම ඉවර වෙලා තමන්ගේ කාමරයට ආවට පස්සේ එයා අතිශය තනිකමකින් පීඩා විඳපු අහිංසක මනුස්සයෙක් විතරයි කියලා මැට් ෆිඩෙස් පවසනවා.

ලෝකයේ ප්‍රසිද්ධම නළු නිළියෝ, ගායකයෝ, දේශපාලනඥයෝ හැමෝම මයිකල් එක්ක පින්තූරයක් ගන්න, එයාගේ යාළුවෙක් කියලා ලෝකෙට පේන්න පොරකෑවා. හැබැයි මැට් කියන්නේ මේ හැමෝම හිටියේ ජැක්සන්ගේ “ප්‍රසිද්ධිය” (Fame) එක්ක මිසක් මයිකල් කියන “මනුස්සයා” එක්ක නෙවෙයි කියලා. තමන්ට දරාගන්න බැරි ප්‍රශ්න වැලක් එක්ක හිත ඇතුළෙන් අඬද්දී, උරහිසට අතක් තියලා “මයිකල්, ඔයාට කොහොමද?” කියලා අහන්න ඇත්තම යාළුවෙක් එයාට ඉඳලා නැහැ.

ජැක්සන්ගේ ජීවිතේ අවසාන කාලය වෙද්දී එයා දැඩි ලෙස සෞඛ්‍ය ගැටලු රැසකින් පීඩා වින්දා ශාරීරික වේදනාවන් වගේම, මාධ්‍ය මඟින් එයාට එල්ල කරපු අපහාස, චෝදනා සහ පීඩනය නිසා එයා මානසිකවත් වැටිලයි හිටියේ.. 24 පැය පුරාම තමන්ගේ පස්සෙන් පන්නන කැමරා, තමන් කරන කියන හැම පුංචි දේම ලෝකෙටම මාතෘකාවක් වෙන එක මයිකල්ට දරාගන්න අමාරු වුණා.

මැට් ෆිඩෙස් කියන විදියට, ජැක්සන් ප්‍රසිද්ධියේ හිනාවෙලා, රසිකයින්ට අත වැනුවට, ඒ හිනාව පිටිපස්සේ තිබුණේ ලොකු කඳුළු කතාවක්.

ගොඩක් අය එයාට ප්‍රසිද්ධියේ ආදරෙයි කිව්වා. හැබැයි මයිකල් ඇත්තටම අසරණ වෙලා, ජීවිතේ අමාරුම කාල පරිච්ඡේද ගත කරද්දී, එයාට පෞද්ගලිකව කතා කරලා සුවදුක් හොයන්න, එයාගේ හිත හදන්න කවුරුවත්ම ආවේ නැහැ.

2009 ජූනි 25 වෙනිදා, මුළු ලෝකයම නිහඬ කරමින් මයිකල් ජැක්සන් වයස අවුරුදු 50 දී මෙලොවින් සමුගත්තා. ඒ මරණය ලෝකෙටම ලොකු කම්පනයක් වුණා. ඊට පස්සේ වුණේ පුදුම දෙයක්. මයිකල් ජීවත් වෙලා ඉද්දි සුවදුක් නොබලපු, එයා තනිවෙලා ඉද්දි මඟහැරපු හැම සුපිරි තරුවක්ම, හැම යාළුවෙක්ම ටීවී චැනල් වලට, පත්තර වලට ඇවිත් මයිකල් ගැන ගුණ වයන්න ගත්තා. තමන් මයිකල්ට කොච්චර ආදරේද, මයිකල් තමන්ගේ කොච්චර හොඳ යාළුවෙක්ද කියලා පෙන්වන්න හැමෝම උත්සාහ කළා.

මෙන්න මේ කුහකකම ගැන තමයි මැට් ෆිඩෙස් අද ලොකු කලකිරීමකින් කතා කරන්නේ. එයා අහනවා මෙන්න මෙහෙම ප්‍රශ්නයක්.

“මයිකල් මැරුණට පස්සේ එයා ගැන අඬපු, එයා වෙනුවෙන් උපහාර උත්සව පවත්වපු මේ හැමෝම. මයිකල් ජීවිතේත් මරණයත් අතර සටන් කරපු, තනිකමෙන් පිස්සු වැටෙන්න ගිය ඒ අමාරුම කාලවල් වලදී කොහේද හිටියේ?”

මැට් කියන්නේ මයිකල් ජීවතුන් අතර ඉන්න කාලේ මේ මිනිස්සුන්ගෙන් ලැබෙන්න තිබුණු එකම එක දුරකථන ඇමතුමකින් හෝ යාළුකමකින් මයිකල්ගේ ජීවිතය මීට වඩා වෙනස් වෙන්න තිබුණා කියලයි. ඒ නොලැබුණු සහයෝගය, ඒ අහිමි වුණු සැබෑ මිත්‍රත්වය ගැන මැට්ට තියෙන්නේ ලොකු දුකක් සහ පශ්චාත්තාපයක්.

අපි දකින හැම සුපිරි, ලස්සන, සල්ලි තියෙන, ප්‍රසිද්ධ ජීවිතයක් ඇතුළෙම සතුට තියෙනවා කියලා හිතන්න එපා. සමහරවිට ලෝකෙම ඉස්සරහා හිනාවෙන මිනිහා, රෑට තනිවම අඬනවා වෙන්න පුළුවන්.

අනිත් දේ තමයි, මිනිස්සුන්ට ආදරය, සැලකීම,ගෞරවය දෙන්න ඕනේ ඒ අය ජීවත් වෙලා ඉන්න කාලේ මිසක්, මැරුණට පස්සේ Facebook එකේ RIP කියලා පෝස්ට් දාලා, දිග ලියුම් ලියලා වැඩක් නැහැ. ජීවතුන් අතර ඉද්දී වචනයකින් හරි ළඟින් හිටපු කෙනා තමයි නියම යාළුවා.

මැට් ෆිඩෙස්ගේ මේ හෙළිදරව්ව, මයිකල් ජැක්සන් කියන ඒ අසහාය කලාකරුවාගේ ජීවිතයේ අපිට නොපෙනුණු පැත්ත ලස්සනට පෙන්වා දෙනවා. Pop රජු තමන්ගේ කිරුළ දරන්න බැරුව තනිකමෙන් මියගිය කතාව, අදටත් ලෝකයටම ලොකු පාඩමක්.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *