වෙනස් වෙන ලංකාවට අලුතෙන්ම එන මෙට්‍රෝ බස්
මෙරට පොදු ප්‍රවාහන සේවාව වඩාත් කාර්යක්ෂම හා ගුණාත්මක තලයකට ඔසවා තැබීම සඳහා අගෝස්තු මාසයේදී මෙරටට ගෙන්වීමට නියමිත නව ‘මෙට්‍රෝ’ බස් රථ 104ක් මෙරටට එවීමට අදාළ සියලු කටයුතු මේ වනවිට සූදානම් කර ඇත.
චීනයේ ප්රමුඛ පෙළේ වාහන නිෂ්පාදන සමාගමක් වන Foton International Corporation වෙතින් මෙම බස් රථ ආනයනය කිරීමට නියමිතයි.
මෙම බස් රථවල තාක්ෂණික තත්ත්වයන් සොයා බැලීමටත්, ඒවා ශ්‍රී ලංකාවේ මාර්ග පද්ධතියට ගැලපෙන අයුරින් තවදුරටත් සකස් කිරීම පිළිබඳව අධ්‍යයනය කිරීමටත් මෙට්‍රෝ ට්‍රාන්සිට් (Metro Transit) ආයතනයේ ප්‍රධාන විධායක නිලධාරීවරයා ඇතුළු නිලධාරීන් පිරිසක් මේ වනවිට චීනයේ Foton කර්මාන්ත ශාලාව වෙත ගොස් සිටිනවා.
එහිදී එම සමාගමේ නිෂ්පාදන ඉතිහාසය, චීනයේ මෙට්‍රෝ බස් සේවාව ක්‍රියාත්මක වන ආකාරය මෙන්ම මෙට්‍රෝ බස් සැකසුම් පද්ධතියේ ක්‍රියාකාරීත්වය පිළිබඳවද පුළුල් ලෙස අධ්‍යයනය කිරීමට ශ්‍රී ලංකා නියෝජිත පිරිසට අවස්ථාව හිමිව තිබේ.
මෙම නව මෙට්‍රෝ බස් රථ මෙරටට ආනයනය කිරීම සඳහා වන නිල ගිවිසුම ඉකුත් මැයි මාසයේදී අත්සන් තැබූ අතර, එම ගිවිසුම් ප්‍රකාරව බස් රථ 104ම එළඹෙන අගෝස්තු මාසය වනවිට දිවයිනට ගෙන්වා අවසන් කිරීමට නියමිතයි.
මේ අතර මෙම බස් රථ සේවාවන් කේන්ද්‍ර කරගනිමින් බස්නාහිර පළාත තුළ කඩවත සහ රත්මලාන යන ප්‍රදේශවල නව මෙට්‍රෝ සේවා ධාවන අංගන ඉදිකිරීමේ කටයුතු ද මේ වනවිට කඩිනම් කර ඇත.

