ශක්තිමත් විපක්ෂයක් ගොඩනැඟීම යුගයේ අවශ්‍යතාවයක්
එක්සත් ජාතික පක්ෂය සහ සමගි ජන බලවේගය එක්ව ශක්තිමත් විපක්ෂයක් ගොඩනැඟීම වත්මන් යුගයේ අවශ්‍යතාවයක් බව එක්සත් ජාතික පක්ෂයේ ජාතික සංවිධායක නවීන් දිසානායක මහතා පැවසූවා.
නවීන් දිසානායක මහතා නුවරඑළියේ ඊයේ (15) පැවති මාධ්‍ය හමුවකදී
වැඩි දුරටත් අදහස් දැක්වම්න් පැවසූවේ,
“එක්සත් ජාතික පක්ෂය සහ සමගි ජන බලවේගය අතර තියන එකමුතුකම නායකතුමා සහ ප්‍රේමදාස මහත්මයා කතා කරලා තියනවා. මං හිතන්නේ ඊළඟ පියවරට අපිට යන්න පුළුවන්. ඇත්ත වශයෙන් හැමෝම ප්‍රාර්ථනා කරන්නේ ඒකයි. එජාප එකතු වෙලා සජබත් එක්ක මේ රටේ ප්‍රධාන පෙළේ විපක්ෂයක් හදන එක තමයි අවශයම දේ. ඉන්න කට්ටිය කැඩෙන එක නෙවෙයි. මං හිතන්නේ ඒක කරන්න දැන් අපිට මූලික පදනමක් තියනවා.
සී.ඩබ්ලිව්.සී. කොහොමත් එන්නේ සජබ සහ එජාපයේ අපිත් එකක් තමයි. ඒ ගොල්ලන් වෙනම යන්න බලාපොරොත්තුවක් නෑ. වතුකරයේ ජනතාවගේ ප්‍රශ්න එහෙම්මමයි. ඒ ගොල්ලන්ගේ ප්‍රශ්න කිසිම දියුණුවක් වෙලා නෑ.
ඉතින් විශේෂයෙන්ම ආණ්ඩුව රු. 700කින් වැඩි කරලා තියනවා දෛනික වැටුප. නමුත් ඒක සරිලනවා මදි ඇත්ත වශයෙන්ම තමාගේ එදිනෙදා බඩු මිලත් එක්ක ඒක හොඳටම මදි.
ඉතින් අපේ කාලේ අපි කිව්වේ, නිෂ්පාදන ධාරිතාවය අනුව මේක වැඩි කරන්න අවශ්‍යයි කියලා. අපි ඒකට සූත්‍රයක් හැදුවා. වැවිලි කර්මන්ත ඇමති හැටියට අපි ඒ ගැන සාකච්ඡා කලා. අපි බලයේ හිටියා නම්, අපි මීට වඩා සහනයක් වතුකරයේ දමිළ ජනතාවට ලබා දෙනවා. විශේෂයෙන්ම සමාගම් එක්ක සාකච්ඡා කරලා එක තැනකට එන්න අපි පදනම දාලා තිබ්බේ. දැන් මේ ආණ්ඩුව එහෙම කිසිම දෙයක් කරලා නෑ.

