free web stats

කැලණි ගඟ ආශ්‍රිතව මහ ගංවතුරක් ගැන අනතුරු ඇඟවීම් – Update

ඉදිරි පැය 24ක කාලය තුළ කැලණි ගඟ ආශ්‍රිතව මහ ගංවතුර තත්ත්වයක් ඇතිවිය හැකි බවට වාරිමාර්ග දෙපාර්තමේන්තුව විසින් අනතුරු ඇඟවීමක් කර තිබෙනවා.

එම දෙපාර්තමේන්තුව නිකුත් කළ නිවේදනයක සඳහන්ව ඇත්තේ කැලණි ගඟ ද්‍රෝණියේ ඉහළ සහ මධ්‍යම ධාරා ප්‍රදේශවලට මේ වන විට වැඩි ත්‍රීවතාවයකින් යුතු වර්ෂාපතනයක් ලැබී ඇති බවයි.

එම වර්ෂා තත්ත්වය තවමත් පවතින බැවින් දෙහිඕවිට, රුවන්වැල්ල සහ යටියන්තොට ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවලට අයත් කැලණි ගංඟා නිම්නයේ පහත්බිම්වලට මහ ගංවතුරක් ඇති විය හැකි බවට එම දෙපාර්තමේන්තුව අනතුරු අඟවා තිබේ.

මේ හේතුවෙන් කැලණි ගඟෙහි ජල මට්ටම ක්ෂණිකව ඉහළ යා හැකි බවත් මේ හේතුවෙන් ඒ පිළිබඳව ගඟ ආශ්‍රිත පහත්බිම්වල වෙසෙන ජනතාව සහ එම ප්‍රදේශ හරහා ගමන් ගන්නා වාහන පදවන්නන් සැලකිල්ලෙන් යුතුව කටයුතු කරන ලෙසත් වාරිමාර්ග දෙපාර්තමේන්තුව සිය නිවේදනය මගින් සඳහන් කර ඇත.

කැලණි ගංගා ද්‍රෝණියට නිකුත් කළ ගංවතුර අනතුරු ඇඟවීම දීර්ඝ කෙරේ

පවතින අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් කැලණි ගඟ ද්‍රෝණිය සඳහා පෙරේදා දින ගංවතුර අනතුරු ඇඟවීම් නිවේදන අදියර 01 යටතේ නිකුත් කර තිබුණා.

එම නිවේදනය ඉදිරි පැය 48 දක්වා දීර්ඝ කර ඇති බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව පවසයි.

ඒ අනුව, අදාළ නිවේදනය මෙම මස 05වන දින උදෑසන 11.30 දක්වා වලංගු වන බව එම දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

මෙම තත්ත්වය සම්බන්ධයෙන් සැලකිලිමත්ව කටයුතු කරන ලෙසද, එම ප්‍රදේශවල පදිංචි මහජනතාවට වාර්මාර්ග දෙපාර්තමේන්තුව දැනුම්දෙනු ලබයි.

මේ අතර එම ප්‍රදේශ හරහා ඇති අතුරු මාර්ගවලින් ගමන් ගන්නා රියදුරන්ද සැලකිලිමත් ලෙස රිය ධාවනය කරන්නැයි අදාළ නිවේදනයේ වැඩිදුරටත් දක්වා තිබෙනවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *