ඉම්රාන් ඛාන්ගේ මූලික අයිතීන් සුරකින්නැයි ඉල්ලීමක්
බන්ධනාගාරගත කර සිටින පාකිස්තානයේ හිටපු අගමැති ඉම්රාන් ඛාන්ට සිදු කරන අමානුෂික සැලකිලි වහාම නවත්වන ලෙස එක්සත් ජාතීන්ගේ සංවිධානයේ වධ හිංසා වැළැක්වීම පිළිබඳ විශේෂ නියෝජිත ඇලිස් ජිල් එඩ්වර්ඩ්ස් එරට රජයෙන් ඉල්ලීමක් කර ඇතැයි එංගලන්තයේ ඉන්ඩිපෙන්ඩන්ට් පුවත් සේවය වාර්තා කළා.
පැය 24ක් පුරා ක්‍රියාත්මක වන සීසීටීවී කැමරා නිරීක්ෂණ යටතේ මාස 33ක පමණ කාලයක් පුරා සම්පූර්ණ හුදෙකලා කුටියක පසුවන ඉම්රාන් ඛාන්ගේ සෞඛ්‍ය තත්ත්වය පිරිහෙමින් පවතින බව ද ඇය සඳහන් කර තිබෙනවා.
ඉම්රාන් ඛාන් චෝදනා රැසක් යටතේ වසර දෙකකට වැඩි කාලයක් සිරගත කර සිටින අතර, ඔහුගේ නායකත්වයෙන් යුතු ටෙහෙරිකි ඉන්සාෆ් පක්ෂයේ නායකයන් සඳහන් කර ඇත්තේ ඒ සියලු චෝදනා දේශපාලනික අරමුණු මත නිර්මාණය කර ඇති බවයි.
වසර 2022 දී පාර්ලිමේන්තුවේ විශ්වාසභංග යෝජනාවකින් බලයෙන් පහ කළ හිටපු අගමැතිවරයාට දූෂණ,, රාජ්‍ය රහස් හෙළි කිරිම සහ ත්රස්තවාදයට අදාළ චෝදනා යටතේ නඩු විශාල ප්‍රමාණයක් ගොනු කර ඇති බවත්, ඔහු එම සියලු චෝදනා ප්‍රතික්ෂේප කර ඇති බවත් වාර්තා වේ.
ඉම්රාන්ට නිසි වෛද්‍ය ප්‍රතිකාර නොලැබෙන බව සඳහන් කර ඇති එක්සත් ජාතීන්ගේ සංවිධානයේ වධ හිංසා වැළැක්වීම පිළිබඳ විශේෂ නියෝජිතවරිය ඉම්රාන්ට සහ ඔහුගේ බිරියට සාධාරණ නඩු විභාගයක් සඳහා වන මූලික අයිතිය මෙන්ම සිරකරුවන්ගෙන් මූලික අයිතිවාසිකම් ආරක්ෂා වීමේ අයිතිය ද හිමිවිය යුතු බව ඇය අවධාරණය කර ඇතැයි ඉන්ඩිපෙන්ඩන්ට් පුවත් සේවය සඳහන් කරනවා.

