2016 සිට 2024 දක්වා මන්ත්‍රීවරුන් රට යන්න කෝටි 20ක් ව්යදම් කරලා
පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 451 දෙනකු සහ නිලධාරින් 115 දෙනකු 2016 සිට 2024 දක්වා පාර්ලිමේන්තු කාල සීමාවේදී රුපියල් 265,861,400ක මුදලක් වැය කර විදේශීය පුහුණු හා සංචාර සඳහා සහභාගි වී ඇතැයි ජාතික විගණන කාර්යාලය නිකුත් කළ වාර්තාවක දැක්වෙනවා.
එසේ විදේශ සංචාරවලට පිරිස් සහභාගි වුවත් ඔවුන් ලබාගන්නා දැනුම හා අත්දැකීම් සන්නිවේදනය කිරීමට ක්‍රමවත් වැඩපිළිවෙළක් නොමැති වීම සම්බන්ධයෙන් නිරීක්ෂණය වූ බවද එම වාර්තාවේ සඳහන් කර ඇත.
එම වාර්තාවට අනුව විදෙස් සංචාර සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 451 දෙනකු වෙනුවෙන් රුපියල් 208,932,986ක් වැය වී ඇති අතර පාර්ලිමේන්තු නිලධාරින් 115 දෙනකු වෙනුවෙන් රුපියල් 56,928,414ක් වැය වී තිබෙනවා.
පොදු රාජ්‍ය මණ්ඩලයීය පාර්ලිමේන්තු සංගමයෙහි කටයුතු සඳහා 2016 සිට 2024 දක්වා අවස්ථා 49කදී මන්ත්‍රීවරුන් 93 දෙනකු සහභාගි වී ඇති අතර ඒ සඳහා රුපියල් 66,643,548ක් වැය වී ඇත. ඒ සඳහා අවස්ථා 27දී නිලධාරින් 27 දෙනකු සහභාගි වී ඇති අතර රුපියල් 24,614,648ක මුදලක් වැය කර ඇත.
අන්තර් පාර්ලිමේන්තු සංගමයේ කටයුතු සඳහා 2016 වර්ෂයේ සිට 2024 වර්ෂය දක්වා අවස්ථා 62දී මන්ත්‍රීවරුන් 313 දෙනකු සහභාගි වී ඇති අතර ඒ සඳහා රුපියල් 135,859,662ක් වැය වී ඇත. මේ සඳහා අවස්ථා 48දී නිලධාරින් 75 දෙනකු සහභාගි වී ඇති අතර රුපියල් 30,639,479ක මුදලක් වැය වී ඇත.
සාර්ක් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ කටයුතු සඳහා 2016 වර්ෂයේ සිට 2024 දක්වා අවස්ථා 10දී මන්ත්‍රීවරුන් 45 දෙනකු සහභාගි වී ඇති අතර ඒ සඳහා රුපියල් 6,429,776ක් වැය කර තිබේ. මේ සඳහා අවස්ථා 8කදී නිලධාරීන් 13 දෙනකු සහභාගි වී ඇති අතර රුපියල් 393,554ක් වැය කර ඇත.
ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ විදේශ සම්බන්ධතා හා සන්ධාන කාර්යාලය මඟින් පොදු රාජ්‍ය මණ්ඩලයීය පාර්ලිමේන්තු සංගමය, අන්තර් පාර්ලිමේන්තු සංගමය, සාර්ක් පාර්ලිමේන්තු සංගමය යන සංගම් තුනක් පවත්වා ගෙන යයි.
මෙම සංගම් තුනෙහි පාලනය ඒ ඒ සංගම් තුනට අදාළ පාර්ලිමේන්තුවෙහි අනුමත ව්‍යවස්ථා තුනක් මඟින් සිදුවන අතර දේශීය සම්මන්ත්රණ හා වැඩමුළු ආදිය සංවිධානය කිරීම, ජාත්‍යන්තර සම්මන්ත්රණ හා වැඩමුළු සඳහා නියෝජිතයන් සහභාගි කරවීම, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් හා කාර්යය මණ්ඩලය සඳහා විදේශ සංචාර සඳහා අවශ්‍ය පහසුකම් සැපයීම, විදේශීය නියෝජිතයන් පිළිගැනීම වැනි කාර්යයන් මෙම සංගම් මඟින් ඉටු කරයි.
තවද විදේශීය රටවල නව දැනුම ලබා ගැනීම, අත්දැකීම් බෙදා හදා ගැනීම, කුසලතා සංවර්ධනය සහ හොඳම පිළිවෙත් අනුගමනය කිරීම මඟින් එම සාධනීය තත්ත්වය පාර්ලිමේන්තු ක්‍රියවලිය තුළ යොදා ගැනීම ද මෙමඟින් සිදු කෙරෙයි.
කෙසේ වෙතත් පාර්ලිමේන්තුවේ නිලධාරීන්ට වැටුප් වර්ධක ලබාදීමේදී අනෙකුත් රාජ්‍ය නිලධාරීන් අබිබවා විශේෂ ප්රතිලාභ ලබාදීමට හේතු විගණනයේදී නිරීක්ෂණය නොවූ බවද එම වාර්තාවේ සඳහන්ව ඇත.

