free web stats

මනූෂ නානායක්කාරට එරෙහිව සිදුකළ විමර්ශන කටයුතු අවසන්

පසුගිය රජය සමයේ ඊශ්‍රායලයට ශ්‍රමිකයින් යැවීමේදී සිදු කළ අක්‍රමිකතාවක් තුළින්”දූෂණය” නමැති වරද සිදුකළේ යැයි චෝදනා කරමින් හිටපු අමාත්‍ය මනුෂ නානායක්කාර මහතාට එරෙහිව සිදුකළ විමර්ශන කටයුතු අවසන් කර ඇතැයි අල්ලස් කොමිසම අද (28) කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයට දැනුම් දුන්නා.

මෙම නඩුකරය අද කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග එස් බෝදරගම මහතා ඉදිරියේ කැඳවනු ලැබුවා.

එහිදී අල්ලස් කොමිසමේ නිලධාරීන් අධිකරණයට දැනුම් දුන්නේ මනූෂ නානායක්කාර මහතාට අදාළ විමර්ශන කටයුතු අවසන් කර විමර්ශන ගොනු අල්ලස් කොමිසමේ කොමසාරිස්වරු වෙත ඉදිරිපත් කර ඇති බවයි.

ඔහු සම්බන්ධයෙන් ගනු ලබන පියවර දැනුම්දීම සඳහා දිනයක් ලබාදෙන ලෙසත් මෙහිදී එම නිලධාරීන් අධිකරණයෙන් ඉල්ලා සිටියා.

ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා මෙම නඩුකරය යළි දෙසැම්බර් මස 18 වනදා කැඳවීමට නියම කළා.

එදින මෙම කටයුතුවල ප්‍රගතිය අධිකරණයට දැනුම් දෙන ලෙසත් මහේස්ත්‍රාත්වරයා අල්ලස් කොමිසමට නියම කළා.

ඉකුත් රජය සමයේ ඊශ්‍රායලයට කෘෂිකාර්මික රැකියා සඳහා සේවකයින් යැවීමේදී තමන්ට දේශපාලනික වශයෙන් හිතවත් සේවකින් තෝරාගන යැවීම තුළින් සිය බලය අයුතු ලෙස පරිහරණය කර දූෂණය නැමැති වරද සිදු කළ යැයි චෝදනා කරමින් හිටපු ඇමති මනුෂ නානායක්කාර මහතා අල්ලස් කොමිසම මගින් සැකපිට අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කර තිබුණා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *