සවුදි අරාබියට මිසයිල ප්රහාරයක්
සවුදි අරාබියේ දකුණු දිග නගරවල සිවිල් ප්රදේශවලට සහ ආර්ථික මර්මස්ථානවලට යේමනයේ හවුති කැරලිකරුවන් එල්ල කළ දැවැන්ත බැලස්ටික් මිසයිල සහ ඩ්රෝන ප්රහාරවලින් පුද්ගලයන් 73 දෙනකු තුවාල ලබා ඇතැයි විදෙස් මාධ්ය වාර්තා කරනවා.
මේ ප්රහාරයත් සමඟ ලොව විශාලතම තෙල් අපනයනකරු වන සවුදි අරාබියේ බලශක්ති මධ්යස්ථාන කිහිපයක මෙහෙයුම් අත්හිටුවීමට සිදුවී ඇතැයි ද වාර්තා වේ.
දිනකට බොරතෙල් බැරල් ලක්ෂ 4ක් නිෂ්පාදනය කරන ජිසාන් බලශක්ති මධ්යස්ථානයට ද ප්රහාර එල්ල වී තිබේ.
මේ ප්රහාරය ඉතා බරපතළ බව සවුදි රජය ප්රකාශ කර ඇති අතර, එරට විදේශ අමාත්යාංශය ප්රහාරය හෙළා දකිමින් නිවේදනයක් ද නිකුත් කර තිබේ.
මිසයිල ප්රහාර එල්ල වූ ස්ථානවල ගිනිගැනීම් පාලනය කිරීමට සහ තුවාල ලැබූ අය රෝහල්ගත කිරීමට සවුදි බලධාරීන් වහා පියවර ගෙන තිබේ. තුවාල ලැබූ අය අතර කාන්තාවන් සහ දරුවන් ද සිටින බව වාර්තා වේ.
සිය රටේ ආරක්ෂාව තහවුරු කිරීමට අවශ්ය සියලු පියවර ගන්නා බවත්, හවුති කැරැලිකරුවන්ගේ ප්රහාරයට ප්රතිචාර දක්වන බවත් සවුදි රජය නිවේදනය කර ඇති අතර, ඊට පැය කිහිපයකට පසු යේමනයේ හවුති කැරලිකරුවන්ගේ පාලනය යටතේ පවතින පළාත් රැසකට ප්රහාරයක් එල්ල කර තිබේ.
එම ප්රහාර සාර්ථකව මැඬ පැවැත්වූ බව හවුති කැරලිකරුවන් ප්රකාශ කර ඇතැයි වාර්තා වේ.
වසර 2022 දී එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මැදිහත්වීමෙන් ඇති කරගත් සාම ගිවිසුමෙන් පසු යේමනයේ නැවත යුදමය තත්ත්වයක් උද්ගත වීමේ අවදානම මේ ප්රහාරයත් සමඟ ඉහළ ගොස් තිබේ.

